16 Nov

ADIC Press Release on credibility of the research quoted for 2018 beer tax reduction

2018 අය වැයේ බියර් බදු අඩු කිරීමට පදනම් කරගත් පර්යේෂණය කොතරම් නිවැරදිද?

2017 නොවැම්බර් 09 වන දින මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා සිය අය වැය කතාවේදී බියර් බදු අඩු කිරීමට ගත් තීරණය පිළිබඳ ප‍්‍රකාශ කරමින් පවසා සිටියේ ශී‍්‍ර ලංකාවේ මද්‍යසාර පානය කරන අයගෙන් 49% ක්ම කසිප්පු භාවිතාකරන බවයි. ඔහු එම තීරණය ගැනීම සඳහා පාදක කරගෙන තිබුණේ කොළඹ විශ්ව විද්‍යාලය මගින් සිදුකළායැ’යි පවසන පර්යේෂණයකි. නමුත් මෙම පර්යේෂණය කොළඹ විශ්ව විද්‍යාලය මගින් සිදුකළ විශ්ව විද්‍යාල පර්යේෂණයක් නොවන බව කොළඹ විශ්ව විද්‍යාලය තහවුරු කරයි.

කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික අංශයේ කථිකාචාර්යවරයෙකු වන පි‍්‍රයංග දුනුසිංහ මහතා විසින් තම පුද්ගලික පර්යේෂණයක් වශයෙන් සිදුකරගෙන යමින් පවතින, එනම් තවමත් අවසන් නොකළ එම පර්යේෂණය විශ්ව විද්‍යාල පර්යේෂණයක් නොවන බව ඔහු ද පිළිගනී.

මෙය මද්‍යසාර භාවිතයේ ප‍්‍රවණතාවයන් සොයාබැලීම උදෙසා සිදුකරන ලද පර්යේෂණයක් නොවන අතර ගෘහස්ත ආදායම් සහ වියදම් පිළිබඳ සමීක්ෂණයට (Household Income and Expenditure Survey (HIES)
ලබාගත් දත්ත ද්විතියික දත්ත ලෙස ගෙන විශ්ලේෂණය කිරීමෙන් සිදුකරන ලද්දකි. එහිදී, අඩු ආදායම්ලාභීන් සියළුදෙනා මද්‍යසාර සඳහා වියදම් කරන මුදල කසිප්පු (නීිති විරෝධී මද්‍යසාර)භාවිතා කිරීමට වියදම් කරන බවට උපකල්පනය කරමින් දත්ත විශ්ලේෂණය කර තිබේ.

කිසිදු පර්යේෂණ වාර්තාවක (Research Reports) හෝ පර්යේෂණ සගරාවක (Research Journals)හෝ පිළිගත් සමුළුවක හෝ ඉදිරිපත් කර නොමැති, තවමත් අවසන් නොකළ පර්යේෂණයක් ප‍්‍රතිපත්ති සම්පාදනය සඳහා යොදාගැනීම බරපතල ගැටළුවකි. මෙම පර්යේෂණය පිළිබඳව ප‍්‍රථම වරට එළිදැක්වෙන්නේ අයවැය ප‍්‍රකාශනයට දින දෙකකට පෙර එනම් 2017 නොවැම්බර් 07 වන දිනDaily FT පුවත්පතෙනි. එමෙන්ම ලංකාදීප පුවත්පතේ ද 2017 නොවැම්බර් 08 වන දින මෙම ලිපිය පළකර තිබෙනු දැකගත හැකිය. මුදල් ඇමතිවරයා විසින් එම පර්යේෂණය පාදක කරගනිමින් බියර් බදු අඩු කිරීම සාධාරණීකරණය කරන්නේ 2017 නොවැම්බර් 09 වනදාය.

සාමාන්‍යයෙන් රටක ප‍්‍රතිපත්ති වෙනස් කිරීම සඳහා තීරණ ගැනීමේදී පිළිගත් අධ්‍යයන හා පර්යේෂණ වාර්තා ගණනාවක් පරිශීලනය කළයුතු බව හා මුළු රටටම පිළිගත හැකි විනිවිද පෙනෙන සුළු පදනමක් මත ප‍්‍රතිපත්තිමය තීරණ ගතයුතු බව පොදු පිළිගැනීමයි.

ලෝකයේ හා ශී‍්‍ර ලංකාවේ පිළිගත් ආයතන හා විද්වතුන් විසින් මද්‍යසාර මත බදු පැනවීම තුලින් මිල වැඩි කිරීමෙන් භාවිතයට යොමුවීම හා භාවිතා කරන ප‍්‍රමාණය අඩු කරගැනීමට හැකි බවට විද්‍යානුකූල පිළිගත් පර්යේෂණයන් බොහොමයක් තිබියදී ඒවා උපයෝගී කර නොගැනීම හා ඊට පටහැනි කරුණු ඉදිරිපත් කරන ද්විතියික දත්ත මගින් සිදුකරන ලද හා තවමත් නිම නොකරන ලද එක් පර්යේෂණයක් පමණක් සැළකිල්ලට ගෙන ජාතික මට්ටමේ වැදගත්කමකින් යුතු තීරණයක් ගැනීම බෙහෙවින්ම විශ්මයජනකය.

ADIC Sri Lanka
No: 40/18, Park Road, Colombo 05.
Tel : +94 112 584416 / +94 112 592515
Fax : +94 112 508484
Email : adicc@sltnet.lk