11 Jan

හෙට ජීවිතවල සතුට අහිමි කිරීමේ කොන්ත‍්‍රාත්තුව

අද පාසලේ දරුවන් හෙට රටේ අනාගතයයි. ඒ අනාගතය පාසල් කාලය තුලම අනාගන්නා දරුවන් ඔබ කොතෙකුත් දැක තිබෙනවාට කිසිම සැකයක් නෑ. ‘හැදෙන ගහ දෙපැත්තෙන් දැනේ’ කියන්නා සේ පාසල් කාලයේදීම දරුවන්ගේ ඉදිරිය කෙසේවීද යන්න සමහරවිට අපට උපකල්පනය කළ හැකිය. මේ කාලයේ පාසල් දරුවන් ගැන ඔබ…
කුමක් සිතන්නේදැ’යි කිසිවෙක් ඔබෙන් ඇසුවොත් බොහෝවිට ඔබගේ පිළිතුර ‘උන් නම් අපේ කාලයේ වගේ නෙමෙයි, ගන්න දෙයක් නෑ’ කියලයි,
මෙසේ මතයක් ප‍්‍රකාශ වෙන්නේ ඇයි?
එය සත්‍යක් ද? එමෙන්ම සාධාරණ ද?
අපේ කාලය ලෙස අදහස් කරන ඉතිහාසය සෑම විටම අදට වැඩිය හොඳයි යන හැඟීම හා සිතිවිල්ල තිබීමම අද පාසල් දරුවන් එම ශිෂ්‍යයන් ගැන වැරදි අවබෝධයක් ජනිත කිරීමට ඉවහල්වීම ස්වභාවිකයි. වැඩිහිටියන් අද දරුවන් පිළිබඳව මෙවන් ආකල්පයක් දැරීමට ප‍්‍රධාන වශයෙන් හේතු වන්නේ බොහෝවිට ශිෂ්‍යය විනය ගිලිහී යාමයි. එහෙත් අප අමතක නොකල යුතු දෙයක් ඇත. එනම් අද වැඩිහිටියෝත් ඉතිහාසයේ මෙම වයසේ සිටි බව යි. අද, ඊයේ හෝ හෙට මෙම කාරණයේදී වෙනස් නොවන පොදු සාධකය වනුයේ, පාසල් ජීවිතයේ ආකර්ෂණය හා ඒ කාල වකවානුවේ ඇති නිදහස් ලිහිල් අවස්ථාව යි. අද වන විට වැඩිහිටියන් වී පාසල් දරුවන් වෙතට ඇඟිල්ල දිගු කොට මැසිවිලි නගන පිරිස මේ සිදුකරන චෝදනාවෙන් සමස්ථ පාසල් දරුවන්වම ලේබල් වීම ඔවුන්ට සිදුකරන අසාධාරණයක් නොවේ ද?

උදාහරණයක් ලෙස ඔබම මතකයට නගා ගන්න. ඔබගේ පාසල් කාලය සහ අද… ඒ සමගම ඔබ එදා යාළුවන් සමග කෙසේ ගණදෙනු කලේ ද ? අද වැඩිහිටියෙක් ලෙස ඔබ කරන චෝදනාව එදා ඔබට කළේ නම් තත්වය අදට වඩා වෙනස් ද? නැත. එදත් අදත් සමස්ථ පාසල් සිසුන් සියළුදෙනා පාසලෙන් පැනගිය, විවිධ මත්ද්‍රව්‍ය පාසලට ගෙන හෝ පිටත දී භාවිතා කල අය නොවෙයි. පාසලක මෙවන් දේවල නියලෙන පිරිස ඉතා සුළු අගයක් ගන්නා බව මඳක් බුද්ධිමත්ව සිතා බැළුවොත් ඔබට පහසුවෙන් වටහාගත හැකිවනු ඇත. සෑමදාම සිදුවූයේ සුළු පිරිසක් දෙසට ඇඟිල්ල දිගු කිරීමකි. එයද බැලූ බැල්මට අසාධාරණ නැත. මන්ද, බහුතරයක් එක් මතයක් දරන අතර සුළුතර පිරිසක් වෙනස්ම මාවතක යාම කාටත් පැහැදිළිව පෙනෙන දැනෙන දෙයකි.
පාසලේම උදාහරණයෙන් කීවොත්, පාසලේ සම්ප‍්‍රදායට නීති රීති වලට නිතරම පහර දෙන්නේ හෝ ඒවා බිඳ දමන්නේ බොහෝවිට එකම පිරිසකගෙන් සැදුම්ලත් කණ්ඩායමකි. මෙම විවිධ හැසිරීම් විනය විරෝධි යයි ග‍්‍රන්ථාරූඪ කොට හෝ මතයක් පිිහිටුවා තිබීමම මෙම කණ්ඩායම ඒවායේ යෙදීමට අවශ්‍ය ගැම්ම සපයාදේ. ඒ ඇයි කියා කීවොත් ඔබත් මටත් මේ වයසේ තිබූ ඒ කුතුහලයම, ආකර්ෂණයම අද දරුවන්ටත් එසේම ඇත. එමනිසා මෙය දැඩි සමාජ අපරාධයක් ලෙස හුවා දැක්වීම නිර්වචනය කිරීමේදී අපි නැවත සිතිය යුතුය. එහෙත් සැළකිය යුත්තක් ඇත. එනම් මේ වයසේ මේ ක‍්‍රියාකාරකම් මගින් ඉගෙන ගන්නා සමහර දේ ජීවිත කාලය පුරාවටම ජීවිතය සීමා කිරීමට හේතුවේ. හොඳින් බලන්න, පාසල් සිසුන්ගේ ඒ සුන්දර ජීවිතයට මත්දාව්‍ය පාඩම උගන්වන්නේ කෙසේද කියා…. ඒ අපි පෙර කී කුතුහලය සුළුතරයේ ආකර්ෂණය වැනි උපයෝගී කරගනිමිනුයි. මේ කාලයේ පාසලට අරක්කු, බියර් හෝ වෙනත් දේ ගෙන ඒමට අපහසුය. ඒ නිසා මත්දාව්‍ය ලෙස උගන්වා ඇති වෙනත් දේ ඔවුන්ට දැරිය හැකි මිලකට ලබාගෙන ගෙනඒම සිදුකරනු ලැබේ. මේ හුරුව ඇති කරන්නේ කුමක් සඳහා ද?
පාසල තුල ඔවුන්ට ඇති වටිනාකමින් අන්ධ වෙන මේ අසරණ දරුවන් පාසලේ මාර පොරවල් යයි වීමට සිතාගෙන විවිධ පෙති හෝ අධි මාත‍්‍රාවෙන් ගත්කල නිද්‍රා ගති ඇතිකරන බෙහෙත් වර්ග මෙන්ම හොර රහසේ වටිනාකමක් එක්කොට විකුණන බුලත් ආශි‍්‍රත නිෂ්පාදන භාවිතා කිරීමට පෙළඹේ.

පාසලට මේවා හොරෙන් ගෙන ඒමේ සිටම ශරීරගත කරගැනීම දක්වාම සිදුවන ක‍්‍රියාදාමය ඔවුන් ඒ වෙත දිගින් දිගටම ඇද බැඳ තබා ගැනීමට සමත් වන්නේ, මේ ශරීරගත කරගන්නා දාව්‍යවලට වඩා වැඩි යමක් ඔවුන්ගේ ඔළුගෙඩි වලට උගන්වා ඇති නිසායි. තවද මෙම අවස්ථාවේදි භාවිතා කරන වචනවල සිටම ඔවුන්ගේ හැසිරීම තීරණය කරන්නේ මේ මත්දාව්‍ය ගැන ඔවුන්ට උගන්වා ඇතිදේයි. එකම මත්දාව්‍ය ශරීරගත කරගත් මේ කණ්ඩායමේ දෙදෙනෙක් වෙනස් අයුරින් හැසිරීම සිදුවන්නේ ඒ ලබා ඇති අවබෝධයේ තරම මතයි. එක් අයෙක් ශබ්ද නගා සිනාවෙන අතර අනෙකා කිසිවෙකු සමග රණ්ඩු කිරීමට සැරසේ. තවකෙක් බලාගත් අත බලාගෙන සිටී. මේ වයසට අපේක්ෂා කරන වෙනස මින් ඔවුන් ලබාගනී. එහෙත් ඔවුන්ට උගන්වා ඇති දහසකුත් බොරු දේ මේ ශරීරගත කරගන්නා ඒවායේ ඇත්ත වසන් කරයි. මන්ද අරක්කු සිගරට් මෙන්ම ඕනෑම මත්දාව්‍යක් ඇත්ත කියා නම් විකුණන්නට බැරිය. එමනිසා එය මිත්‍යාවෙන් වසා අලංකාරයක් වටිනාකමක් එක්කර විකුණනු ලැබේ. මේ මිත්‍යාවෙන් ඔවුන්ට එළියට පැමිණිමට ඉඩ නොදෙමින් විවිධ මත්දාව්‍ය වල අත්දැකීම ලබාගැනීමට ඔවුන්ව මෙහෙයවයි. එහෙත් හොඳින් බලන්න, පාසල් කාලයෙන් ඔබ්බට පාසලේ මේ කණ්ඩායමට වෙන්නේ මොකක්ද කියලා.., ඔවුන් පාසල් කාලයේ මෙන් පෙර කී වර්ගයේ මත්ද්‍රව්‍ය භාවිතාවට තවදුරටත් ආකර්ෂණය වූවෝ නොවෙති. මන්ද පාසල් ජීවිතයෙන් බැහැර වූ විට ඔවුන්ගේ අපේක්ෂාවන් මෙන්ම සමහරවිට කණ්ඩායමද වෙනස්ය. එසේනම් ඔවුන් දැන් පෙර අවශ්‍යතාව ඉගැන්වීම සපුරා ගන්නේ කෙසේද ?? දැන් ඔවුන් ඒ සඳහා අරක්කු බියර් භාවිතා කරයි. අවබෝධයේ වෙනසක් වී නොමැත. මන්ද කුඩා කාලයේ සිට ඉගැන්වූ දෙවල් රසවත් වීම නිසායි. අපිට මෙහිදී ගෙන ආ හැකි සාධාරණ තර්කයක් වනුයේ කුඩා කාලයේ පාසල තුල පිහිටුවා ගන්නා කල්ලිය ඕනෑම දෙයක යෙදීම එනම් ක‍්‍රියාව රසවත් කරගැනීමේ මුල් පියවර බවයි. එහෙත් එතනට එන විවිධ මත්දාව්‍ය ඔවුන්ව යම් ක‍්‍රියාවලියක පටලවා කල්යත්ම යම් රසායනයකට සීමා කරයි. පාසලෙන් බැහැර වුවත් ඔළුවෙන් බැහැර නොවු දේ නිසා තවත් දුර්වලයන් පිරිසක් සිගරට්, බියර් හෝ අරක්කු සමාගමක පාරිභෝගිකයකු බවට පත්වේ.

එසේනම් යෞවන අවධියේ විවිධ නම්වලින් වෙස්වලාගෙන ආවේ ඉහත සමාගම්වලම කොන්තා‍්‍රත්තුවක් දැයි සැක කිරීමට අපිට බොහෝ සාක්ෂි ඇත. පාසල් කාලයේ සිටම මත්දාව්‍ය භාවිතයේ හුරුව ඇති අය නිරායාසයෙන්ම අරක්කු හෝ අනෙක් මත්දාව්‍ය වලට පෙළඹීම සිදුවන බව අපිට වඩා ඒවා නිෂ්පාදනය කරන සමාගම් දන්නා නිසා ඔවුන් දරුවන්ට මත්දාව්‍ය අත්දැකීම ලබාදීමට උවමනා වටපිටාව සකසනවා ඇති. වර්තමානයේ අපි අනාගත පරපුරට දොස් නගමින් සිටිනවාට වඩා මෙය ඔවුන්ට තේරුම් කරදීම වටිනු ඇතැයි මම සිතමි.