සෞඛ්‍ය ප‍්‍රවර්ධන කි‍්‍රයාවලිය

Title: සෞඛ්‍ය ප‍්‍රවර්ධන කි‍්‍රයාවලිය

Year of Publication: 2001

Author(s): දියනාත් සමරසිංහ සමග දුමින්ද ගුරුගේ, රෝහණ රණසිංහ, සරත් අමුණුගම, මනෝජ් ප‍්‍රනාන්දු සහ සුසන්ත ඉන්ද්‍රවංශ

Summary: සෞඛ්‍ය ප‍්‍රවර්ධනය නව ප‍්‍රජා හෝ මහජන සෞඛ්‍ය ලෙස සැළකෙන්නේ එහි ක‍්‍රමවේදයන්හි වෙනස නිසා පමණක් නොව, ” සෞඛ්‍යය” යන්නෙන් අදහස් කෙරෙන්නේ කුමක් ද යන්න පවා මෙම නව පිවිසුමේ අළුතෙන් විමර්ශනයට භාජනය වේ. මෙහි ප‍්‍රධාන අංග අතුරෙන් කරුණු දෙකක් සඳහන් කළ යුතුය. මින් එකක් වන්නේ දුබලතා සහ අසනීපයන් ගැන පමණක් නොව සුවතාව හෙවත් ධන අංශය ගැනද සැලකිලිමත් වීමයි. අනෙක කි‍්‍රයාවලිය ගැනත් ප‍්‍රතිඵලය ගැනත් සැලකිලිමත් වීමය.

සෞඛ්‍ය යන අදහස තරමක් අපැහැදිළි එකකි. ඒ පිළිබඳ නිර්වචන බොහොමයකි. ”සෞඛ්‍ය” යන අදහස පිළිබඳ පවතින නොයෙකුත් අවබෝධ අතුරින් වඩාත් බලපෑමක් ඇත්තේ සහ බලයක් උසුලන්නේ වෛද්‍ය ආකෘතියයි. පටු අරුතකින් සෞඛ්‍ය යන්න දකින්නේ මෙම ආකෘතිය තුළයි. වෛද්‍ය ආකෘතියට අනුව පුද්ගලයාගේ සෞඛ්‍ය ශරීරයේ ඉන්ද්‍රියන් හා ඊටත් කුඩා වූ කොටස් තුළ විසිරී පවතින ගුණාංගයකි. ශරීරය යන්ත‍්‍රයක් නම් එහි විවිධ කොටස් හෙවත් අවයව සතුටුදායකව වෙන් වෙන්ව කි‍්‍රයා කරයි නම් සමස්ත ශරීරය නැත්හොත්් පුද්ගලයා සෞඛ්‍යමත්ය. රෝගයක් ඇති වූ විට හෙවත් ශරීරයේ කි‍්‍රයාකාරිත්වය අකර්මන්‍ය වූ විට අදාල දෝශය හෝ කොටස නැවත සාමාන්‍ය තත්වයට ගෙන ඒමට ප‍්‍රතිකාර මගින් පියවර ගැනේ. ව්‍යාකූල වූ අභ්‍යන්තර අවයව හෝ කි‍්‍රයාකාරකම් එකිනෙක වෙනස් රෝග ලෙස වර්ග කෙරේ. මෙම ව්‍යාකූලත්වය නිවැරදි කිරීම හෙවත් රෝගී අවයවය නැවත සාමාන්‍ය තත්වයට පත් කිරීම සැළකෙන්නේ වෛද්‍ය ප‍්‍රතිකාර ලෙසයි. රෝගවලට ප‍්‍රතිකාර කිරීමෙන් ඔබ්බට වෛද්‍ය ආකෘතිය තුළ ඉඩ ඇත්තේ රෝග වැළැක්වීම දක්වා පමණි.

  • සෞඛ්‍ය යනු ඔබ අප ඉගෙන ගන්නා, විනෝද වන, ආදරය කරන, එදිනෙදා තැන් තුළ ජනිත කරන හා ජීවත් වන දෙයකි.
  • සෞඛ්‍ය යන්න අප හදාරණ විෂයයක් පමණක් නොව අප ජීවත්වන දෙයක් ද විය යුතුය.
  • තමාට යෝග්‍යතම පරාසය තුළ ශරීර ස්කන්ධය පවත්වා ගැනීම ඉන් ඔබ්බට පවතිනවාට වඩා සුවදායක වන්නේ වෙනත් අයුරකිනි.
  • යහපැවැත්ම දියුණු කිරීමේ උත්සාහයේ වඩාත් ප‍්‍රයෝජනවත් කටයුත්තක් වන්නේ මෙබඳු අපැහැදිළි තැන්හි දී තීරණ ගන්නා ආකාරය තව පැහැදිලි කර ගැනීමයි.
  • එකම මූලික දෙයක විවිධ පැතිකඩ ලෙස ශාරීරික, මානසික සහ සමාජීය යහපැවැත්ම නිරතුරු අවධානයේ තබාගෙන, එකිනෙක අංශය තවදුරටත් මෙතැන් සිට විග‍්‍රහ කර බලමු.
  • සෞඛ්‍යය දියුණු කිරීමේ එක් ප‍්‍රධාන පියවරක් වන්නේ අසාධාරණයන් හෝ විෂමතාවයන් නිසා පීඩාවට හෝ අපහසුවට පත් වූ අය එම විෂමතාවයන්ට ලක්ව ඇති ප‍්‍රමාණය අඩු කිරීමයි.
  • සෞඛ්‍ය ප‍්‍රවර්ධනය සඳහා සාම්ප‍්‍රදායික සෞඛ්‍ය ක්ෂේත‍්‍රය හෙවත් වෛද්‍ය ප‍්‍රතිකාර සැපයීම සහ රෝග වැළැක්වීමේ යොමුවෙන් ඔබ්බට යා යුතු බව පැහැදිලිය.