25 Apr

රස්සාවක උජාරුව..

අපි හැමෝගෙම සිහිනයක් තමයි හොඳ ජිවිතයක්, ඒ කියන්නේ අපි අපේක්ෂා කරන සැප සම්පත් හා පහසුකම් වලින් සපිරි ජිවිතයක්. මෙහෙම ජීවිතයක් ලබාගන්න හොඳ රස්සාවක් හෝ හොඳ ආදායමක් ලැබෙන ආදායම් මාර්ගක් නම් තිබිය යුතුමයි. මේ සිහිනය හඹා යන කොච්චර පිරිසක් එදිනෙදා ජිවිතයේ අපිට මුණගැහෙනවාද? මේ සිහිනය සාක්ෂාත් කරගන්න දහස් ගණන් වියදම් කරලා හොඳ අධ්‍යාපනයක් ලබාගන්න වෙහෙසෙන තරුණ පිරිස් අද අපිට ඕනෑතරම් දකින්න පුළුවන්.

මේ අපේක්‍ෂාකරන ජීවිතය පසුපසම ගොස් රස්සාවක් කරන මාගේ මිතුරෙකු වේ. ඔහුට හොඳ වේතනයක්, නිළ වාහනයක්, සෞඛ්‍ය පහසුකම් හා තවත් විවිධ දේ ලැබෙන රුකියාවක් ඔහුට ලැබිණි. මේ වන විට ඔහු ඉතා උනන්දුවෙන් උවමනාවෙන් ඒ රැකියාවේ නිරත වන්නේ තමන් කාලයක් තිස්සේ සිහින දුටු රැුකියාව දැන් ඔහු සන්තකයේ වීම නිසායි.

විටෙක ඔහු මා හා පැවසුවේ සිය රැකියාවේ ඇත්තටම රැකියාවක් බවයි. ඉන් අදහස් කලේ ඔහුට ලැබෙන පහසුකම් මතින් ඔහුව ඔසවා ඇති තරමයි. ඔහුට ඔහුගේ රැකියාවේ සුරක්ෂිත බව මෙන්ම අනාගතයේ සුරක්ෂිත බව ගැනද ඇත්තේ පුදුම උජාරුවකි. රැකියාවට යන්නේ ද, දිනපතා අදාල රාජකාරී අවසානයේ ගෙදර එන්නේ ද ඒ සුරක්ෂිතභාවයෙන් බව ඔහු නිතර උජාරුවෙන් කතා කරයි.

මාගේ මිතුරා සිහින සැබෑ වීම ගැන නම් මට ඇත්තේ සතුටකි, එහෙත් ඔහු නිතර කතා කරන රැකියාවේ සුරක්ෂිතභාවය ගැන නම් මට ඇත්තේ නොසතුටකි. ඒ ඔහුගේ රැකියාව සුරක්ෂිත වනවා යනු හෙට මාගේ දරුවාද ඇතුළු රටේ දරුවන්ගේද අනාගතය අනාරක්ෂිත බව මට පෙනෙන බැවිනි. ඒ පිළිබඳ මාගේ මිතුරුටද මා උපහාසයෙන් නිතර පවසන්නේ උඹ එක දවසක් ඔය රස්සාවට යන්නේ නෑ කියන්නේ අපේ දරුවෝ 100 ක් විතර බේරෙනවා කියන එකනේ කියලයි. ඒ වෙලාවට හිනා වෙලා මා මගහරින යාළුවා ඇත්තටම ඒ මා උපහාසයෙන් හෝ කියන දේ සම්බන්ධයෙන් අවධානය යොමුකරනවාදැයි නොදනී එහෙත් අනිවාර්යෙන්ම දිනක ඔහු මේ රැකියාව කිරීම සම්බන්ධයෙන් පසුතැවිලි වනු ඇති මන්ද ඔහුට ඇත්තේ අපේ රටේ මිනිස්සුන්ට සිගරට් විකිණීමේ රස්සාවක් බැවිනි.