25 Jan

මෙන්න ගැහිලි, තවමත් සිගරට් බොන්නන්ට සුවිශේෂි හෙළිකිරීමක්…

2016 වසර ද විවිධ හැල හැප්පීම් වලින් ගහන වසරක් බව අමුතුවෙන් කිය වුතු නොවේ. අයවැය අර්බුද, දේශපාලන ගැටුම් හා නොයෙක් අරගල වල සීමාවක් නැති බව පෙනෙන වසරක් ලෙස මෙම වසර මේ වන විටත් පෙරනිමිත් පෙන්වා අවසානයි. මේ නොයෙක් ගැටුම් අස්සේ සිගරට් කොම්පැණිය පැන්න පිම්මක් ගැන ඔබව දැනුවත් කිරීමටයි මේ සූදානම. ජනවාරි මාසයේ මුල් දින කිහිපය අතරතුරම සිගරට් කොම්පැණිය විසින් සිය සිගරට් නිෂ්පාදන වල මිල ඉහල දැමීමට කටයුතු කරන ලදී. ඊට මාස කිහිපයකට කලින් අයවැය ප‍්‍රකාශයට පත්කිරීමටත් කලින් සිගරට් මිල ඉහල දැමනු අතර එසේ සිදුකරන ලද්දේ රජය විසින් පනවන බදු ප‍්‍රකාරව මිල වැඩිවීමක් සිදුවීමයි. එහෙත් මා මේ හෙළිකිරීමට යන මිල ඉහල දැමීම සම්පූර්ණයෙන්ම සිගරට් සමාගම විසින් සිදුකරන මිල ඉහල දැමීමක් බව වාර්තා වී තිබේ. එහිදී මිල රු. 2.00 කින් ඉහල දමමින් සාමාන්‍ය සිගරට්ටුවක මිල රු. 35. 00 දක්වා වැඩිකරන ලදී. ඉහත සිදුකරන ලද වැඩිකිරීම සිගරට් සමාගමේ ආදායම වැඩිකිරීම උදෙසා සිදුකරන ලද්දක් බව පැහැදිලිය. එහි භායනකත්වය හොඳින් පැහැදිලි වන්නේ ඉන් ඔවුන් උපයාගැනීමට නියමිත මුදල් පුරෝකතනය කිරීම සමගය. අපේ රටේ වසරකට සියළුම වර්ගවල සිගරට් මිලියන 4000 ක් පමණ විකුණනු ලබන අතර, ඒ අනුව ගණනය කිරීම් සිදුකල විට මේ වසර අවසානයේ සිගරට් සමාගම උපයාගැනීමට බලාපරොත්තු වන මුදල රු. මිලියන 8000 ක් පමණ යැයි කිව හැකිය. (වසරකට සිගරට් මිලියන 4000 X රු.2.00 = රු. මිලියන 8000) එසේ රු. කෝටි 800 ක් ආයාසයකින් තොරව සාක්කුවට දමාගැනීමට හැකිවීම අපේ රටේ සිගරට් නිවාරණ වැඩපිලිවෙලට මරු පහරක් ලෙසද සැලකිය හැකිය. මන්ද සිගරට් සමාගමේ අවසානය අපේක්ෂාවෙන් සියළු නීති රීති පැනවීම මගින් පාළනයන්ට නතු කරමින් තිබූ සිගරට් කොම්පැණිය මෙතරම් මුදලක් උපායා ගැනීම රටක් ලෙස ඉතා අවාසිදායක තත්වයකි.

සමස්ත කොටස් අයිතියෙන් 92% ක් පමණ බි‍්‍රතාන්‍ය අමෙරිකානු දුම්කොළ සමාගමට හා විදේශීය සමාගම් වලට හිමිකාරිත්වය ඇති මෙම සමාගම හරහා අපේ රටේ මිනිසුන්ගෙන් හූරාගන්නා මුදල් කොටි ගණන් රට පැටවීම ජයමට තවදුරටත් කරගෙන යාමට කටයුතු කිරීම දැකිය හැකිය. ඉහත මිල වැඩිකිරීම සමග හා එම වැඩිකල සියළු මුදල් සමාගමේ ලාභාංශ වීම නිසා මිනීමරු සමාගමක් පැවති අපහසුතා අවම කරගැනීමට සමත්වීම කිසිසේත් නොසලකා සිටිය නොහැකියි. දිනකට අපේ රටේ සිගරට් බොන්නන් ඒ වෙනුවෙන් වැයකල මුදල රු. කොට් 25 ට අධිකයි. නව මිල වැඩිවීම සමග එය රු. කෝටි 27 ක් පමණ වේ. සිගරට් මිල වැඩිකිරීම හා එය සාමාන්‍ය මිනිසුන්ට මිලදී ගැනීමට අපහසු භාණ්ඩයක් බවට පත්කිරීම ලෝක සෞඛ්‍ය සංව්ධානයේ දුම්කොළ පාළන ප‍්‍රතිපත්තින්ගේ නිර්ණායකයන් අතර වේ. එහෙත් ඉන් අදහස් කරන්නේ රජයන් විසින් බදු අයකරගැනීම උදෙසා මිල ඉහල දැමීමයි. එවන් අවස්ථාවක රජයට බදු ලෙස කිසියම් ප‍්‍රමාණයක් ලැබීම එහි ඇති වාසිදායක තත්වයයි. එහෙත් පසුගියදා අපේ රටේ සිදුව ඇත්තේ එම නිර්ණායකයන්ට සම්පූර්ණයෙන්ම විරුද්ධ අවාසිදායක තත්වයකි. අපේ රටේ සිගරට්ටුවක මිල වර්තමානයේ උද්ධමනයට හා මිලදී ගැනීමේ හැකියාවට සාපේක්ෂව රු. 50 ක් වත් විය යුතු බව ආර්ථික විශේෂඥයන් පෙන්වා දී ඇති අතර, එතරම් මිලකට සිගරට් මිල ඉහල දැමිය හැකි නම් භාවිතය විශාල ප‍්‍රමාණයකින් අඩු කරගත හැකි බව ලෝක සෞඛ්‍ය සංව්ධානය වැනි ආයතන පවසයි. එහෙත් අපේ රටේ සිදුවී ඇත්තේ නම් සිගරට් සමාගමට සම්පූර්ණයෙන්ම වාසිදායක තත්වයකි. එය බොහෝ කාලයක් පුරා පවත්වාගෙන පැමිණි දුම්කොළ පාළන වැඩපිලිවෙල අඩාල කිරීමට දායකත්වයක් වනු ඇති. මෙසේ මිනීමරු සිගරට් සමාගමකට අවශ්‍ය ආකාරයට හැසිරීමට ඉඩ ලබාදීම අනාගතයේ විශාල අවාසිදායක තත්වයකට අප මුහුණ දීමට වටපිටාව සකසනු ඇති.

වැදගත්ම කාරණය වනනේ සිගරට් කොම්පැණියේ අවශ්‍යතාවට අනුව නටන සිගරට් බොන පිරිස මේ තත්වය දැන්වත් තේරුම් ගැනීමයි. සිගරට් බොන පිරිසට දැන්වත් අවබෝදයෙන් එම අවාසිදායක පුරුද්දෙන් ගැලවීමට අවස්ථාවක් පැමිණ ඇත. සිගරට් සමාගමේ කූට උපාය පිළිබඳව නිවැරදිව අවබෝද කරගෙන සිගරට් භාවිතයෙන් ගැලවීමට අවස්ථාවක් සිගරට් සමාගම විසින්ම නිර්මාණය කර දී තිබේ. ඔබේ සිගරට් භාවිතය වසරකට රු. කෝටි 9500 ක් සිගරට් කර්මාන්තයට හිමිකර දේ. මිල වැඩිකර එම මුදල්ද සිගරට් සමාගමේම යහපතට යොදාගන්නා බැවින් සිගරට් භාවිතා කරන ඔබට හා ඔබේ පවුලේ උදවියට කාගේ පිහිටක්ද? තවමත් සිගරට් බොන ඔබට සොරිම තමයි.