5 Jan

මිනීමරු සිගරට් සමාගම වැඩියෙන්ම කැමති !!!

අපේ රටේ මේ වෙලාවේ බොහොම වැදගත් මැතිවරණයක් පැවැත්වෙනවා. රටේ අනාගත තීරණ බොහෝමයකට බලපෑම් ඇතිවන මේ ජනාධිපතිවරණයේ දී බොහෝ පාර්ශව ඒ දෙස උනන්දුවෙන් බලා සිටින ආකාරය පෙනෙන්නට තිබේ. රටක අනාගත ප‍්‍රතිපත්තී එම රටේ මිනිසුන්ට මෙන්ම අතිවිශාල පිරිසකට ඍජු හා වක‍්‍ර බලපෑම් ඇති කිරීම ස්වභාවිකයි. මින් සමහර පාර්ශව තමන් දිනවීමට කැමති පුද්ගලයා වෙනුවෙන් ප‍්‍රසිද්ධියේ පෙනී සිටිනු ආකාරය දැකිය හැකියි. එහෙත් එසේ ප‍්‍රසිද්ධියේ කරළියට නොයා තිරය පිටුපස සිටිමින් මෙම වාතාවරණය අධ්‍යනය කරමින් සිටින පාර්ශවයන්ද ඕනෑතරම් දැකිය හැකිය.

මෙම විවිධ පාර්ශවයන් අතරේ බහුජාතික සිගරට් හෝ මද්‍යසාර සමාගම් ඇත්තේ මොන ගොඬේ වන්නට ඇති ද? රටක පාලන තන්ත‍්‍රය වෙනස් කිරීමේ ඍජු උපාය මාර්ගික මැදිහත් වීම් නොකලත් තමන්ගේ ව්‍යාපාර කරගෙන යාමට පහසු අවස්ථා සපයනු ඇතැයි පුරෝකතනය කරන අපේක්‍ෂකයාට මෙම බහුජාතික සමාගම් සහය දක්වනවා ඇත. එම සහයෝගය ප‍්‍රසිද්ධියේ කුමන ස්වරූපයකින් වෙනවා දැයි පැහැදිලිව කිව නොහැකි වුවත්, මේ වන විටත් අපේක්‍ෂකයන් දෙදෙනාගේ ප‍්‍රතිපත්තී අධ්‍යනය කොට තම ව්‍යාපාරයන්ට අඩුම අභියෝගය ඇත්තේ කුමන පාලනයක් යටතේ දැයි තීරණය කර හෝ ඒ පිළිබඳව තක්සේරුවක් සිදුකර ඇත යන්න නම් මාගේ හැඟීමයි. අපේ රටේ බොහෝ බහුජාතික සමාගම් ප‍්‍රමාණයක් ක‍්‍රියාත්මක වුවත් මේ සෑම එකකටම රාජ්‍ය පාලන ප‍්‍රතිපත්ති එකම ආකාරයකින් බලපෑම් ඇති නොකරයි. විශේෂයෙන් අවධානයට ලක්කලහොත් බහුජාතික සිගරට් සමාගම් මේ වාතාවරණයේ දී සිටිනු ඇතැයි සිතිය හැකි ස්ථාවරය කුමක් ද?

දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරී පනත සක‍්‍රීයව කි‍්‍රයාත්මක වීම සිදුව්ය හැක්කේ කාගේ රජයක් යටතේදැයි ඔවුන් මේ වන විට තක්සේරු කර ඇති බවට නම් කිසිම සැකයක් නෑ. සිය ව්‍යාපාරයට අවම අභියෝගය ඇති තත්වයක් රටේ ඇති වීම ඔවුන්ට වාසිදායක බැවින් ප‍්‍රසිද්ධියේ නැතත් රහසින් හෝ ඔවුන් අපේක්‍ෂාකරන පාලන තන්ත‍්‍රය ගෙන ඒමට සිහින දකිනවා ඇති. මහජනතාව විදියට හා අනාගත රටේ ගමන තීරණය කරන ප‍්‍රධානම කණ්ඩායම විදියට මෙම අභියෝගය ගැනද නිවැරදි තක්සේරුවක් සිදුකර අපේ තීරණය ප‍්‍රකාශයට පත්කිරීම වටින්නේය යන්න මාගේ හැඟීමයි. මිනීමරු බහුජාතික සිගරට් අරක්කු සමාගම් වලට රට පාවා නොදෙන අපේක්‍ෂකයාට මාගේ මනාපය.