23 Oct

මිනීමරුවන්ගෙන් අභිශේක ලැබීම… සතුටට කාරණයක්ද ?

ආසන්න දවසක කඬේකට ගොඩවුනාම දැක්කා මේ කඬේ අභිශේක ලද වෙළඳසැලක් ලෙස නම්කර තිබුණ සහතිකයක්. කුතුහලේටත් එක්ක පොඩිඩක් ආසන්නෙටම ගොස් බලපුවාමයි දැක්කේ මේ වෙළඳසැල එසේ අභිශේක ලබලා තියෙන්නේ කාගෙන්ද කුමක් සඳහාද කියලා. භාවිතා කරන දෙන්නෙක්ගෙන් එක් අයෙකුගේ මරනයට අනිවාර්්‍යයෙන් බලපාන සාධකය වන සිගරටි විකිණීම නිසා තමයි වෙළඳසැලට මේ සහතිකය හිමි වී තිබෙන්නේ. මෙය හාස්‍ය උපදවන්නක් වුනත් තත්වය එසේයි. අපේ රටේ වැඩිම අකල් මරණ සංඛ්‍යාවක් සිදුවීමට සෘජුවම දායක වන සිගරට් සමාගම විසින් වෙළඳසැල් වලට මෙම සහතිකය ප‍්‍රදානය කර තිබීම පුදුමයක් නොවේ.

හිතාමතාම මිනිසුන්ට අකල් මරණය, ලිංගික අප‍්‍රාණිකත්වය, අවලස්සන පෙනුම, සතුට හා නිදහස නැති කරවන සිගරට් අන් සියළුම භාණඩ වලට වඩා වෙනස් වන්නේ එම හේතූන් නිසායි. වෙළඳසැල් අභිශේක ගැන්වීමෙන් සිගරට් සමාගම් වෙළඳසැල් හිමියාට සුප්පු කරමින් සිටින්නට ලොසින්ජරයක් දී ඇති හැඩක් පෙනෙන්නට තිබේ. එහෙත් වෙළඳසැල් හිමියා නොදකින සත්‍ය නම් බහුජාතික සිගරට් සමාගම ඔහුගේ හෝ ඇයගේ වෙළඳසැල දඩ මීමා කරගෙන මිනීමරන බවයි. මේ අභිශේකය ඇත්තටම නම් සාපයකි. මන්ද මෙම සහතිකය ලබන්නට සුදුසුකම් ලබනවා යනු සිගරට් වැඩි වැඩියෙන් විකුණනවා යන්නයි. එනම් වැඩි වැඩියෙන් මිනීමරනවා හෝ මිනීමරන්නන්ට උදව් කරනවා යන්නයි. එවන් සාපයකින් ගැලවෙන්න කලින් මේ වෙළඳ මහතුන් අඩුම තරමේ තමන් සාපයකට හසුවී ඇති බවක් වත් අවබෝද කරගත යුතුයි.

සිගරට් සමාගමේ උගුලේ වැටෙන්නේ සිගරට් භාවිතා කරන අය විතරක් නෙමේ ඒවා විකුණන අයත් ඒ උගුලටම වැටෙනවා කියලා පෙන්නන්න මීට වඩා හොඳ උදාහරණයක් නම් තවත් නැති තරම්. උදේට ජාති, ආගම් හෝ කුල භේදයකින් තොරව සියලූම ව්‍යාපාරිකයන් ව්‍යාපාර කටයුතු ආරම්භ කරන්නේ ඒ අය අදහන ආගමික වතාවත් සිදුකොට ව්‍යාපාරයේ දියුණුව අපේක්‍ෂා කරමිනුයි. එහෙත් මේ සියලූ වතාවත් සිදුකලත් අවසානයේ කඬේ මරණය උරුම කරදෙන සිගරට් විකුණන්නේ නම් එවන් වෙළඳසැල් වලට වගතුවක් තියෙයි ද කියන එක තමයි ප‍්‍රශ්නේ. තවමත් සිගරට් විකුණන ව්‍යාපාරිකයන්ට මෙම පරම සත්‍ය අවබෝද වේවා, ඔවුන් සිගරට් සමාගමේ උගුලෙන් මිදෙත්වා, සියළු සත්වයෝ නිදුක් වෙත්වා, නීරෝගී වෙත්වා මාගේ ප‍්‍රාර්ථනයයි.