30 Jan

මාරදූතියන් වැඩ අරඹා ඇත…

මාරදූතියන් සම්බන්ධයෙන් කතාවක් ආරම්භ කිරීමට හිතවේ ඇත්තටම මාරදූතියන්ගෙන් බේරීමට ඔබව දැනුවත් කිරීම වැදගත් යැයි සිතුන නිසායි. මීට වසර කිහිපයකට පෙර සිගරට් ප‍්‍රචාරණය සම්බන්ධයෙන් කතා කිරීමේදී අපි දැකපු ප‍්‍රබල ප‍්‍රචාරණ උපක‍්‍රමයක් ලෙස දක්නට ලැබුනේ තරුණ ගැහැණු ලමුන් සිගරට් භාවිතය සඳහා යොදවාගෙන ඒ අයව තරුණ පිරිස් ගැවසෙන තදාසන්න ප‍්‍රදේශ වල ස්ථානගත කිරීමයි. පසුගිය කාලයේ මෙම තත්වය කාන්තා පාසල් ආසන්නයේත් දක්නට ලැබුණු අතර අගනුවර ප‍්‍රධාන හා ආකර්ෂණීය ස්ථාන වලද සිගරටි අතින් ගත් රූමත් කාන්තාවන් සිටීම ඉඳ හිට හෝ දකින්නට හැකිවිය.

මෙහිදී මාධ්‍ය වාර්තාද මේ සම්බන්ධයෙන් පලවූ අතර එක්තරා පුවත්පතක් සිදුකරන ලද ගවේෂණාත්මක මාධ්‍ය මෙහෙවරකදී ඔවුන්ට දැකගැනීමට හැකිවූයේ සිගරට් අතේ තියන් සිටියත් ඒවා නොබොන තරුණ ගැහැණු ළමයි අගනගරයේ ප‍්‍රධාන තැන් වල ගැවසීම අධ්‍යනය කල බවයි. මෙම තත්වය නැවතත් හිස ඔසවා ඇති බව මේ වන විට පෙනෙන්නට තිබෙනවා. සිගරට් කර්මාන්තයට පසුගිය කාලයේ අපේ රට තුල ඇතිකරන ලද විවිධ අභියෝගාත්මක ප‍්‍රතිචාර දැක්වීම් නිසා පසුබෑ සිටි මාරදූතියන් යෙදවීමේ උපාය සිගරට් සමාගම විසින් නැවත ආරම්භ කර ඇති ආකාරයක් පෙනෙන්නට තිබෙන අතර පෙර සේම ආකර්ෂණීය රූ සපුවකට හිමිකම් කියන තරුණ ලඳුන් පාරේ තොටේ සිගරට් බොමින් හෝ අතින් ගෙන සිටියහොත් කම්පා වී හෝ ඉච්චා භංගත්වයට පතිවීමෙන් තොරව සත්‍ය හඹායාමට උත්සහා ගන්න යැයි අපගේ යෝජනාවයි.

මෙවන් වාතාවරණයක් තුල අපේ තරුණියන් මෙන්ම සිගරට් බොන නොබොන සියළු පිරිස් දැඩි අවදානම් සහගත තත්වයකට ගොදුරු වී සිටී. මෙහි භයානකම තත්වය වන්නේ මෙම කූට ප‍්‍රචාරණ උපක‍්‍රමය ගැන කිසිවක් නොදන්නා ගැහැණු ළමුන් සිගරට් භාවිතයට පෙළඹීමට ඇති ඉඩ අවකාශ වැඩි වීමයි. අපේ රටේ පිරිමි ජනගහණයෙන් සිගරට් භාවිතය ක‍්‍රමිකව ඉවත්ව යමින් තිබිය දී එය කාන්තාවන්ට පුරුදු කර ගැනීමට ගන්නා උත්සාහය සුළුපටු එකක් නොවේ. නිදහස් කාන්තාව, සමානාත්මතාවය, කාන්තා අයිතිය යන මුවාවෙන් ලෝකයේ බොහෝ රටවල් වල කාන්තාවන්ට සිගරට් භාවිතය පුරුදු කිරීමට සිගරට් සමාගම් කෙලින්ම මැදිහත් වී කටයුතු කල බව ඕනෑතරම් උදාහරණ ඇත.