6 Jul

මද්‍යසාර කර්මාන්තයේ නව ප‍්‍රවණතා – 02 කොටස

ලොව පුරා මද්‍යසාර සමාගම් එම ව්‍යාපාරයේ පැවැත්ම තහවුරු කරගැනීම සඳහා වර්තමානය වන විට සිදුකරමින් පවතින නොයෙක් මැදිහත් වීම් කිහිපයක් පිළිබඳව අපි මීට පෙර අවස්ථාවේදී දැනුවත් කල අතර, එම ලිපියේ ඉතිරි කොටස මෙතැන් සිට,

06. ජීවිතයේ සෑම අවස්ථාවක්ම මද්‍යසාරකරණය කිරීම.
අපගේ ජීවිතයේ සුවිශේෂීව සමරණ අවස්ථා මෙන්ම එසේ නොවන අවස්ථාවන් හා විශේෂ දින පවා බියර් හා අරක්කු සමාගම් වල ඉලක්කයක් බවට මේ වන විට පත්වී තිබේ. උපන්දින සාදයක සිට අප ජීවිතයේ සහාභාගී වන සියළු ආකාරයේ සමාජ එකතුවීම් මේ වන විට මද්‍යසාරකරණය වී හමාරයි. එ නිසා මද්‍යසාර සමාගම් ඉන් ඔබ්බට යාමට කටයුතුකර ඇති ආකාරය පෙනෙන්නට තිබේ. වසරේ විශේෂ දින වන වැලන්ටයින් දිනය, මව්වරුන්ගේ දිනය, කාන්තා දිනය, පියවරුන්ගේ දිනය යන දින වලදී තෝරාගත් හෝටල් පරිශ‍්‍රයන්තුල නොයෙක් ඉසව් සංව්ධානය කරන අතර ඒවායේදී මද්‍යසාර භාවිතයට දිරිමත් කිරීම් වෙනුවෙන් වට්ටම් ලබාදීම සිදුකෙරේ. මෙවන් ක‍්‍රමෝපායන් මගින් මිනිසුන් දැනුවත්ව හෝ නොදැනුවත්ව සහාභාගී වන සියළු ආකාරයේ අවස්ථාවන් මද්‍යසාරකරණය කිරීමට කටයුතු කිරීම මගින් සුලබතාව වැඩිවේ. අවසානයේ මද්‍යසාර භාවිතය ඔනෑම අයෙකුට ඉතාමත් සාමාන්‍ය එකක් බවට පත්වනු ඇති.

07. මුදල් යොදවා සාවද්‍ය පර්යේෂණ වාර්තා එළිදැක්වීම හා ඒවාට විශාල ප‍්‍රචාරයක් ලබාදීම.
මද්‍යසාර භාවිතය හා සම්බන්ධ ලෝකයේ සිදුකෙරෙන පර්යේෂණ වලින් බොහෝමයක් අරක්කු හා බියර් සමාගම් වල මුදල් මත යැපෙමින් සිදු වූ ඒවා බව හඳුනාගත හැකිය. අන්තර්ජාලයේ බියර් සම්බන්ධ කිසියම් අධ්‍යනයන් සෙවීමේදී බියර් භාවිතයේ ගූණ කියැවෙන පර්යේෂණ වාර්තා යැයි පෙන්වන දෑ දැකගැනීමට හැකිය. මද්‍යසාර භාවිතයේ සත්‍ය හානිය හා සමාජ බළපෑම් යටපත් කරමින් එහි ගූණ කථනයන් වලට වඩාත් වැඩි ප‍්‍රචාරයක් ලබා දීම සඳහා එම වාර්තා මහජන සම්බන්ධතා මාර්ගයෙන් පුවත්පත් වල මෙන්ම එම වාර්තා රූපවාහිනි වැඩසටහන් වල පලකරවා ගැනීමද සිදුකෙරේ.

08. වෙනත් කර්මාන්තයන් සමග සන්ධානගත වීම.
මේ වන විට අපේ රටද අතුළුව ලොකයේ ප‍්‍රධන පෙලේ මද්‍යසාර කර්මාන්තයන් ඔවුන්ගේ ව්‍යාපර වලට ඍජු දායකත්වයක් නොමැති එහෙත් ව්‍යාප්තිය අතින් ඔවුන්ට බළපෑමක් අතිකල හැකි ආකාරයේ කර්මාන්ත සමත එක්වීම දක්නට ලැබේ. එහිදී නොයෙක් ව්‍යාපාර වල කොටස් මිලදී ගැනීමෙන් ඒවාට හිමිකම් කීමටද, සම්පුර්ණ වශයෙන් මිලදී ගැනීම් සිදුකරමින් සිය බලය පැතිරවීමටද මේ වන විට කටයුතු කරමින් පවතින බව ව්‍යාපාර හිමිකම් අධ්‍යනය කිරීමේදී හොඳින් පැහැදිලි වේ. මෙහිදී මුල්‍ය ක්ෂේත‍්‍රයේ බැංකු, රක්ෂණ සමාගම්, වැවිලි කර්මාන්තයන්, ජල බෝතල් නිෂ්පාදන සමාගම්, කළමණාකරණ උපදේශකත්වයන් ලබාදෙන සමාගම් මෙන්ම සංචාරක ව්‍යාපාරයේ සියළු ආකාරයේ ව්‍යාපාර සඳහා මද්‍යසාර සමාගම් මේ වන විට ආයෝජනයන් සිදුකොට සිය ග‍්‍රහණය වැඩිකරගෙන ඇති බව කිවහැකිය.

09. බොලිවූඩි සිනමාව හා ඉන්දීය ක‍්‍රිකට් හරහා අළුත් මද්‍යසාර සංස්කෘතිය සමාජගත කිරීම
ඕනෑම කර්මාන්තයකට ලෝකයේ ඇති විශාලම වෙළඳපොළ බවට වර්තමානයේ පත් වී ඇත්තේ ඉන්දීය වෙළඳපොලයි. මේ හේතුව නිසා එම වෙළඳපොල සියතට ගැනීමේ තරඟයක මද්‍යසාර සමාගම් පමණක් නොව ටොෆී, චොකලට් සමාගම් පවා උත්සාහා දරයි. මෙසේ එම පාරිබෝගිකයාට ලඟාවිය හැකි පහසුම මාර්ගය බොලිවුඩි සිනමාව බව ලෝකයම පසක් කරගෙන අවසානයි. ලොව දෙවන විශාලම සිනමා කර්මාන්තය හිමි ඉන්දියාවේ වර්තමානයේ නිෂ්පාදනය වන බොහෝ සිනමා පට තරුණ තරුණියන්ගේ මද්‍යසාර භාවිතය හා බැඳි සිද්ධි නිරූපණය කරන අතර පසුගිය දශකයට වලට වඩා පැහැදිලි වැඩිවීමක් දක්නට ලැබීම ඉන්දීය සිනමා පේ‍්‍රක්ෂකයා පමණක් නොවේ ලොව පුරා වෙසෙන සුවහසක් හින්දි සිනමාවට අළුම්කරන පිරිස ඉලක්ක කිරීමකි. ඒ ආකාරයෙන්ම ඉන්දීය ජනතාව දේවත්වයෙන් අදහන ක‍්‍රිකට් කී‍්‍රඩකයන් හා ක‍්‍රිකට් කණ්ඩායම් මිලට ගැනීමෙන් මද්‍යසාර සමාගම් සිය උපාය දැඩිකොට ඇති බව පෙන්වීමට ඕනෑතරම් උදාහරණ ඇත.

  image_preview

10. මද්‍යසාර භාවිතය වෙනුවෙන් පෙනිසිටින සමාජිකයන්ගේ එකතුවෙන් සංගම් පිහිටුවීම ඒවා සමාජ මාධ්‍ය තුල ව්‍යාප්ත කිරීම, වක‍්‍ර අනුග‍්‍රාහකත්වය ලබාදීම,
අද වන විට සමාජ මාධ්‍ය ජාල සම්ප‍්‍රදායික මාධ්‍ය අභිබවා ප‍්‍රතිපෝෂණය ලබමින් විකාශනය වෙමින් පවතින අතර එම අවස්ථාව කුඩා මත්ද්‍රව්‍ය කණ්ඩායම් වලටද පිටිවහලක් වී ඇත්තේ සයිබර් අවකාශයේ නියෝජනය කිරීමට හා භාවිතයට ඇති ලැදිකම පෙන්වීමට ඇති හැකියාව නිසයි. වර්තමානයේ එසේ විවිධ වර්ගයන්ගේ මද්‍යසාර හා නොයෙන් මත්ද්‍රව්‍ය අත්දැකීම් ලැබූ පිරිස් කල්ලි ගැසී භෞතික වශයෙන් හා අන්තර්ජාලයේ ක‍්‍රියාකාරීව ඇති අතර එම සමාජයන් සඳහා වක‍්‍ර අනුග‍්‍රාහකත්වයන් මද්‍යසාර සමාගම් විසින් ලැබෙමින් පවතී.