ජනතාව බලාපොරොත්තුවන්නේ, බියර් සහ වයින් මිල අඩුකර ජනතාවට සහන ලබාදීම නොව අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවාවන්වල මිල තවදුරටත් ඉහළ නොයවා ඒවා පාලනය කිරීමය. අපේ රටේ මද්‍යසාර භාවිතා කරන්නන්ගේ ප‍්‍රමාණය සමස්ත පිරිමි ජනගහනයෙන් 35% කි. (STEPS Survey/WHO & Ministry of Health, Sri lanka) මද්‍යසාර භාවිතාකරන්නන් ද සිය දරුවන් මද්‍යසාර වැනි අවාසිදායක පුරුද්දකට ගොදුරුවනවාට කැමැත්තක් නොදක්වයි. 2015 වසරේ ලෝක සෞඛ්‍ය සංවිධානය හා සෞඛ්‍ය අමාත්‍යංශය එක්ව සිදුකරන ලද අධ්‍යනයකට අනුව වසරකදී මද්‍යසාර භාවිතය නිසා අපේ රටට සිදුවන ගණනය කළ හැකි අලාභයේ වටිනාකම පමණක් රු. බිලියන 141 ක් වේ. එසේනම් සිදුකළ යුත්තේ රටේ අධ්‍යාපනයට, සෞඛ්‍යට සහ සංවර්ධනයට රජය වැඩි වශයෙන් ආයෝජනය කිරීම මිස බියර් සහ වයින් මිල අඩු කිරීම මගින් සමස්ත හානිය වැඩිකර ගැනීමට කටයුතු කිරීම නොවේ. මෙම යොජනාව ක‍්‍රියාත්මකවීම මගින් සිදුවන්නේ ළමුන් සහ තරුණයන් මද්‍යසාරවලට යොමුවීමට තිබෙන අවකාශ පුළුල්වීමයි.

රජයක් ලෙස, මද්‍යසාර භාවිතාකරන 35% ක් තරම් පිරිසට කළ හැකි හොඳම උපකාරය ඔවුන්ගේ භාවිතය තව තවත් දිරිමත් කිරීම නොව එම භාවිතයෙන් ඉවත්වීමට අවශ්‍ය පහසුකම් සැපයීමයි. අනෙක් කාරණය නම් රටේ සමස්ථ ජනගහණයෙන් 20% වඩා අඩු පිරිසකගේ මද්‍යසාර භාවිතයට පහසුකම් සැපයීමට කිසියම් රජය කටයුතු කරන්නේ නම් එයින් සිදුවන්නේ 80% තරම් බහුතර මද්‍යසාර භාවිතා නොකරන පිරිසකගේ ස්ථාවරයට අභියෝග කිරීමකි. එය මද්‍යසාර සමාගම් හි අවශ්‍යතාවය වේ. බියර් හා වයින් මිල අඩු කිරීමට කිසියම් යෝජනාවක් ඉදිරිපත් වෙන්නේ නම් එයි වාසි ලබන්නේ මද්‍යසාර භාවිතයට හුරු වූ හෝ භාවිතාවට හුරු නොවූ මේ පාර්ශව දෙකම නොව බියර් හා වයින් නිෂ්පාදනය කරන සමාගම් පමණි.

එමනිසා මද්‍යසාර පාලනය කිරීම සඳහා සාධණීය ප‍්‍රතිපත්තීමය තීන්දු තීරණ ගැනීම සම්බන්ධයෙන් සිදුකරන මැදිහත්වීමකදී ලෝකයේ දැනට පවතින ඵලදායක බවට සනාථවී ඇති ප‍්‍රතිපත්තිමය තීරණ, විද්‍යාත්මක දත්ත හා තොරතුරු ඕනෑතරම් ඇත. ඒවා සොයාලබා අනුගමනය කිරීමෙන් බියර් හා වෙනත් මද්‍යසාර කර්මාන්ත ගෙනයන කූට ප‍්‍රචාරයන්ට හසු නොවී 2018 අයවැය සැබෑම ජනතාවාදී අයවැයක් කිරීමට හැකියාව ලැබෙනු ඇතිබව අප විශ්වාසයයි.

බියර් සහ වයින් මිල මිල අඩුකර ජනතාවට සහනයක් ලබාදිය හැකිද ? 2018 අයවැය සඳහා යෝජනා 01

Leave a Reply

Your email address will not be published. Required fields are marked *