2 Jan

පක්ෂ පාට කුමක් වුනත්…

අද වන විට අපේ රටේ පවතින මැතිවරණ උණුසුම ගැන අමුතුවෙන් ඔබට කියන්න ඕන නෑ. මෙවර රටේ ප‍්‍රධානම මැතිවරණය පැවැත්වෙමින් දෙපාර්ශවයේම මැතිවරණ ප‍්‍රකාශයන්ද නොයෙක් ආකාරයෙන් කතාබහ වෙමින් පවතී. එම මැතිවරණ ප‍්‍රකාශයන් පිළිබඳ ගුණ දොස් හෝ ඒවා සංසන්දනය කිරීම ජනතාවට බාර කරන අතර, ප‍්‍රධාන ජනාධිපතිවරණ අපේක්‍ෂකයන් දෙදෙනාගේම එම ප‍්‍රකාශයන් තුල රටේ මිනිසුන්ට මහත් හිසරදයක්ව පවතින මත්ද්‍රව්‍ය ගැටළුව සම්බන්ධයෙන් අවධානය යොමුකර තීබීම ඉතාමත් සුභවාදී තත්වයක් ලෙස අපි දකිමු.

වර්තමානය වන විට ත‍්‍රස්තවාදය තුරන් කිරීමට අපේ රටේ මිනිසුන් හා දේශපාලන නායකයන් සිය අදහස් ඉදිරිපත් කල අකාරයටම මත්ද්‍රව්‍ය ගැටළුව දෙස අවධානය යොමුකර ඇත. වර්තමානයේ රටේ මිනිසුන්ගේ අවශ්‍යතාවයන් ඒ අකාරයෙන්ම හඳුනාගෙන ඒ අනුව මිනිසුන්ගේ එම අවශ්‍යතාවන් වෙනුවෙන් සිය ප‍්‍රතිපත්ති කි‍්‍රයාත්මක කිරීම පිළිබඳව මෙසේ හෝ අවධානය යොමුවීම අගයකරමු. තවදුරටත් සඳහන් කලහොත් මත්ද්‍රව්‍ය භාවිතය අවම කිරීම සම්බන්ධයෙන් ලෝකයේ කිසිදු රටක ප‍්‍රධාන ජනාධිපතිවරණ අපේක්‍ෂකයන් මෙතරම් අවධානය යොමුකර ඇතැයි සිතිය නොහැකිය. ඇත්තටම අපේ රටේ තත්වය වෙනස් යැයි කිව හැක්කේ වර්තමානයේ ඡුන්ද දායකයන්ගේ අවබෝධය හා ඉව බොහෝ දුරට දියුණු වීමේ වක‍්‍ර ප‍්‍රතිපලයක් ලෙස මෙම තත්වය ඇති වී ඇති නිසයි.

පකෂ පාට මොකක් වුනත්, කාගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය ගැන විශ්වාස කලත් දෙපාර්ශවයේම මත්ද්‍රව්‍ය මැඩලීම සම්බන්ධයෙන් වන ප‍්‍රතිපත්තීමය මැදිහත් වීම් කවුරුන් බලයට පත්වුවත් ඉටු කිරීමටද කටයුතු කරනු ඇතැයි බුද්ධිමත් ඡුන්ද දායකයන්ගේ බලාපරොත්තුවයි.