11 Dec

නීතිය නොසලකන සිගරට් සමාගමට නැවතත් නඩු.

සිගරට් පැකට් මත රූපමය අවවාද ගෙන ඒම වෙනුවෙන් අපේ රටේ බොහෝ කාලයක් කතා වූ අතර එම අවවාද සිගරට් පැකට්ටුවේ මුහුණතෙන් 80% ක ප‍්‍රමාණයක් ආවරණය වන පරිදි මුද්‍රණය වූයේ මේ වසරේ මුල් භාගයේ සිටයි. වසර දෙකකට අධික කාලයක් සිගරට් සමාගම හා නඩු කීමෙන් අනතුරුව හා නව රජය පත්වීමෙන් අනතුරුව සිදු වූ පලමු ප‍්‍රමුඛ වැඩක් වූයේ දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරීයට සංශෝධන එක් වීමයි. එහිදී 80% ක රූපමය අවවාදයන් ගෙන ඒමට අමතරව සියළුම සිගරට් ඇසුරුම් මත එම ප‍්‍රමාණයෙන් රූපමය අවවාදයන් තිබිය යුතු බව නීතිගත කරන ලදී. එහෙත් ඒ අනුව ක‍්‍රියා නොකල සිගරට් සමාගම සමස්ථ සිගරට් ඇසුරුම් එසේ රූපමය අවවාදයන් මගින් ආවරණය නොකරන ලදී.

මේ හේතුව නිසාවෙන් පසුගිය දිනක අනුරාධපුර උණගස්වැව ප‍්‍රදේශයේ සිගරට් බෙදාහරීමේ යෙදී සිටි අයෙක් සිගරට් තොගය සමග අත්අඩංගුවට ගැනීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පිරිසක් කටයුතු කරන ලදී. අනුරාධපුර සෞඛ්‍ය වෛදය නිළධාරී කාර්්‍යාලය වෙනුවෙන් මේ සම්බන්ධයෙන් නීතිමය කටයුතු කල මහජන සෞඛ්‍ය පරීක්ෂක ජාලිය ජයතිලක මහතා ප‍්‍රකාශ කර සිටියේ බොහෝ කාලයක සිට සිදුකරන ලද අධ්‍යනයකින් අනතුරුව මෙම වැටලීම හා අත්අඩංගුවට ගැනීම සිදු වූ බවයි. රටේ නීතිය සංශෝධනය වී තිබුණත් සිගරට් සමාගම විසින් අත්තනෝමතිකව ක‍්‍රියාකර ඇති නිසා මෙම ක‍්‍රියාමාර්ගය ප‍්‍රදේශයේ මිනිසුන්ගේ යහපත උදෙසා ගත් බව හෙතෙම වැඩිදුරටත් ප‍්‍රකාශකර සිටියේය. මේ වන විට හලාවත ප‍්‍රදේශයේද සෞඛ්‍ය වෛදය නිළධාරී කාර්්‍යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ද උක්ත කාරණය සම්බන්ධයෙන් සිගරට් සමාගමට එරෙහිව නීතිමය පියවර ගෙන ඇත.

සිගරට් භාවිතය අධෛර්යමත් කිරීම උදෙසා වගකිවයුතු සෞඛ්‍ය අංශ මෙසේ ක‍්‍රියාත්මක වීම රටේ අනෙකුත් ව්‍යුහයන්ටද මහඟු ආදර්ශයක් වන අතරම, තවදුරටත් අත්තනෝමතිකව නීතිය නොසලකා ක‍්‍රියාත්මක වන මිනීමරු සිගරට් සමාගමටද හොඳ පාඩමක් ලෙස පෙන්වා දිය හැකිය. රටේ මිනිසුන්ගේ සෞඛ්‍යමත් බව වෙනුවෙන් ඇප කැප වී සේවය කරන මින්සුන්ට ජාතියේ උපහාරය.