29 Dec

නැවත වේදිකාවට පණපෙවීම හා පේ‍්‍රක්ෂකයාගේ පණ නැහීම

මේ වන විට අපේ රටේ ඇති සාමකාමී තත්වය නිසා කලා ක්ෂේත‍්‍රයේ පිබිදීමක් දක්නට තිබේ. එය රටක් ලෙස ගත්කල ඉතා සුබවාදී තත්වයකි. මේ වන විට සිනමාව, වේදිකාව මෙන්ම අනෙක් කලා මාධ්‍යන්ගේ පිබිදීම හොඳින් බලාගත හැක්කේ කොළඹ නගරය ඒවායින් විටින් විට බැබළෙන විටයි. සෑම සතියකම කොළඹ වේදිකා නාට්‍ය රඟ දැක්වීමට අවකාශ සපයා ඇති සියළු රංග ශාලාවලට පේ‍්‍රක්ෂකයන් ඇදී එන්නේ විවිධ නාට්‍ය රසවිඳීමටයි. මේ කාලයේ වේදිකා නාට්‍යවලට අමතරව ඡුායාරූප , චිත‍්‍ර හා මූර්ති ප‍්‍රදර්ශන සුලබව දක්නට ලැබීම, රටක කලාවේ හා මිනිසුන්ගේ ජීවන මට්ටම මෙන්ම රසවින්දනය ගැන කියවා ගතහැකි අපූරු දර්ශනයකි. අපේ රසිකයන් ටෙලිනාට්‍ය හා රූපවාහිනී මාධ්‍ය තුල සිරවී සිට නැවතත් ඉන් බැහැරව කලා අත්දැකීම සඳහා සිනමා ශාලා හා රංග ශාලාවලට පිවිසීම සතුටට කාරණයකි. මේ ඇතිවී තිබෙන වාතාවරණය තුල අළුත් වේදිකා නාට්‍ය මෙන්ම පැරණි වේදිකා නාට්‍යද නැවත නිෂ්පාදනය කරමින් වේදිකාගත කිරීම දක්නට ලැබේ. මින් සමහර ඒවා මීට වසර 20 කට පමණ ඉහතදී වේදිකාගත කරන ලද හෝ විදේශීය කතා පරිවර්තනය කර නිර්මාණය කළ නාට්‍ය වේ. පසුගිය දිනක මෙසේ වේදිකාවට නැගුනු පැරණි නාට්‍යක අත්දැකීමක් ගැනීමට රසවිඳීමට මට අවස්ථාව ලැබිණි. මෙය මීට පෙර වේදිකාගතකර තිබූවක් වුු නමුත් කාලයාගේ ඇවෑමෙන් වැළලී ගොස් නැවත මේ පිබිදීම සමග කරළියට ආ නාට්‍යයකි. ඒ අවධියේ නැරඹූ අයගේ අත්දැකීමට අනුව එය මුල් කාලයේ හොඳින් වේදිකාගත වී මිනිසුන් අතර ජනපි‍්‍රය වූ නාට්‍යයකි. මේ දිනවල වේදිකාගත වන එහි ප‍්‍රතිනිෂ්පාදනයත් හොඳ පේ‍්‍රක්ෂක ප‍්‍රතිචාර ලැබෙමින් ඉදිරියට යන බවක් දක්නට ලැබුණේ නාට්‍ය බැලීමට පැමිණි පේ‍්‍රක්ෂක ප‍්‍රමාණය දුටුවිටයි.

මේ සමගම මාගේ හිතවතෙකු තවත් පරිවර්තන නාට්‍යයක් නරඹා එහි අත්දැකීම මා සමග බෙදාහදා ගන්නා ලදී. මාගේ හා මිත‍්‍රයාගේ අත්දැකීම එක් කර ඒ ගැන විචාරයක් ඉදිරිපත් කළහොත් අපි දෙදෙනාම මෙම නාට්‍ය හොඳයි හෝ ප‍්‍රශස්තයි යන්න කිසිම පැකිළීමකින් තොරව කීමට මැළිනොවේ. මේ දිනවල විශේෂයෙන්ම, කොළඹ නාට්‍ය සඳහා ඇත්තේ යම් තරමක තරගයක් යැයි කීවොත් නිවැරදියි. දිනපතාම කිසියම් හෝ රංග ශාලාවක නාට්‍යයක් ප‍්‍රදර්ශණය වේ. ඒවා නැරඹීමටද පේ‍්‍රක්ෂකයන්ගේ ඇත්තේ ඉමහත් උද්යෝගයකි. මෙසේ නාට්‍යවල තේමාවන්ගෙන් හා අන්තර්ගතයෙන් විවිධ මට්ටමෙන් පේ‍්‍රක්ෂකයා වින්දනයට ආස්වාදයට පත්වනු දැකිය හැක්කේ එක් එක් නාට්‍ය වල තේමාවන්ගේ හා අන්තර්ගතයන්ගේ ඇති අධික විවිධාංගීකරණය නිසායි. මම ඉහතින් සඳහන් කරන ලද නාට්‍යය නරඹන විට මා හට යම් ආගන්තුක බවන්ද දැනෙන්නට විය. ඒ මා හා මාගේ මිත‍්‍රයා අත්විඳි පරිදිම රසවින්දනයට යම් බාධාවන් වූයේ නම් ඒ මේ නාට්‍ය දෙකේදීම සිදුකරන ලද සිගරට් අරක්කු භාවිතයයි. මෙම නාට්‍ය සේම මේ දිනවල වේදිකාගත වන සමහර නාට්‍ය අරක්කු හෝ සිගරට් භාවිතය අඩංගු කොට නාට්‍ය නිර්මාණ කර ඇති බවක් දක්නට පුළුවන්. මෙහි මට දැනුන අමුත්ත වනුයේ කලා නිර්මාණ වලදී රූපවාහිණියේ නම් මෙවැනි දර්ෂණ වලට නිවාරණ පණිවිඩ දමා ආවරණය කරනු ලැබූවත් වේදිකාවේ එසේ කල නොහැකි නිසා අමු අමුවේ පේ‍්‍රක්ෂකයා ඒ වෙත නිරාවරණය වීමයි. එලෙස මේ නාට්‍යයන් දෙකෙහිදීම මා හට මෙන්ම මාගේ මිත‍්‍රයාටද බාධා ඇතිවූයේ ඒවායේ අරක්කු, සිගරට් දර්ශනය කිරීමයි. එලෙස මේ දිනවල වේදිකාගතවන සමහර නාට්‍යවලද මෙලෙස අරක්කු, සිගරට් භාවිතය අඩංගු කර නිර්මාණය කරනු දක්නට ලැබේ.

මීට වසර ගණනක සිට රටේ ඇතිකල නීති රෙගුලාසි සමග එසේ මත්ද්‍රව්‍ය භාවිතය හෝ ඒවායේ වෙළඳනාම පෙන්වීම අත්හිටුවන ලදී. මෙම නීතිය නිසා කිහිපවරක්ම දෙබිඞ්ඩෝ නාට්‍යයේ නිර්මාණකරුවන් අපහසුවට පත් වූ අයුරුද මට මතකයට නැගේ. නිර්මාණ කරුවන්ගේ පැත්තෙන් සාමාන්‍යයෙන් ලැබෙන පිළිතුර වන්නේ, මෙම නාට්‍ය පිටපත් සකසා ඇත්තේ වෙනත් රටක සංස්කෟතියක පරිවර්තනයකින් නිසා රංගනයේදී කිසිවක් වෙනස් කල නොහැකි බවයි. මෑතදී මා ද අත්දැකීම් ලැබුවේ එසේ පරිවර්තිත නාට්‍යකයි. එය දුටු විට මා බැලූ පරිවර්තිත නාට්‍යයේ සිගරට් ඉරීම සිදුකරන්නේ මුල් පිටපතට එනම් විදේශිය පිටපතට අති සාධාරණයක් ඉටු කිරීමටද නැත්නම් තාත්විකත්වයේ උපරිමයට එළඹිමටදැයි වරක් මට ප‍්‍රශ්නයක් විය. මුල් පිටපත රුසියාවේ , එංගලන්තයේ, ඉතාලියේ, ප‍්‍රංශයේ හෝ වෙනත් රටක උවත් අද අප රටේ පවතිත තත්වය අනුව නම් ඒ අත්දැකීම කල් ඉකත් වූ එකක් යැයි දැනේ මන්ද පොදු ජනයාගෙන්ද මාධ්‍ය මගින්ද කෙමෙන් ඈත් වෙමින් යන අරක්කු හෝ සිගරට් භාවිතා කිරීමට වේදිකාවේ ඉඩ ලැබීම නොගැළපේ. එමෙන්ම තවමත් අරක්කු බී වේදිකාවේ හෝ කිසියම් තැනක කරන රංගනය හාස්‍ය උපදවන්නක් ලෙස සැලකීම නිර්මාණකරුවන් යාවත්කාලීන නොවී ඇති බව කීමට හැකි නිදර්ෂණයකි. පරිවර්තනයක මුල් පිටපතට නිසි සාධාරණය ඉටු කිරීමට සෑම චරිතයක්ම, දෙබසක්ම, රංගනයක්ම යොදාගැනීම කලයුතු වුවත් අරක්කු බොන, සිගරට් උරන වාර ගණන, අවස්ථා ගණන බැළුවාම හිතෙනවා, මෙච්චර අවස්ථා ප‍්‍රමාණයක් මුල් පිටපතේ තිබුණද කියලා.

රූපවාහිනියේද මෙවැනි දර්ශණ හෝ දෙබස් නිර්මාණ වලට යෙදීම තවදුරටත් සිදුවන්නේ නිර්මාණකරණයට එහා ගිය අවශ්්‍යතාවක් නිසාද යන්න සොයා බැලීම වටී, රටේ පවතින නීති පනත් වලින් රිංගා කෙසේ හෝ මද්‍යසාර හෝ සිගරට් භාවිතා කරන දරශණ දැමීමට නිර්මාණකරුවන් ව මෙතරම් උනන්දු කරවන්නේ කවර බලවේගයක්ද ?? ටෙලි නාට්‍ය හෝ වෙනයම් නිර්මාණ වල හැංගිහොරා, වයිං ඕරෝ අමාරුවෙන් අරක්කු දර්ශණ පෙන්නනවාට වැඩිය හොඳ නැද්ද ඕවා නැතිව නට්‍ය නිර්මාණ කරන එක.

එය වේදිකාවේ නම් අතිශෝක්තියක්ද ? අරක්කු බී පාරේ කෑ ගසමින් හෝ නොයෙක් දේ කියමින් යන චරිත වේදිකාවේ අපි අනාදිමත් කාලයක ඉඳන් කොතෙකුත් දැකලා තියෙනවා. මේක තාමත් වේදිකාවේ ප‍්‍රතිනිර්මාණය වෙන්නේ හාස්‍ය උත්පාදනය උදෙසායි. එහෙත් එය යල් පැනගිය විහිළුවලින් අමාරුවෙන් හරි පේ‍්‍රක්ෂකයා සිනහගැන්වීමට ගන්නා උත්සාහයක් ලෙස පෙනෙන්නට තිබේ. දැන්වත් අපේ නිර්මාණ කරුවන් මීට වඩා ඒ ගැන සැළකිලිමත් උනොත් නම් හොඳයි කියලයි, මගේ නම් හැඟීම.