4 Nov

දිවි ගලවා ගැනීමේ උත්සාහයක නිරත වන සිගරට් සමාගම් මේ වන විට දරන උත්සාහයන් -1

01. හැකිතරම් රජයන් මගින් සිගරට් පාළනයට ගෙන එන ඵලදායී ප‍්‍රතිපත්ති පමා කිරීමට අවශ්‍ය කටයුතු යෙදීම.
උදා: අපේ රටේ සිගරට් පැකට් මත රූපමය අවවාදයන් 80% ක ප‍්‍රමාණයෙන් මුද්‍රණය කිරීම වසර 03න් පමණ පමා කිරීම සඳහා කටයුතු කිරීම. ලෝකයේ බොහෝ රටවල් පහසුවෙන් රූපමය අවවාද සම්මත කරගනු ලැබූවත් අපේ රටේ එය ඉතා අපහසු ක‍්‍රියාවලියකින් පසු 2015 ජුනි මස 01 දක්වා වසර 03 ක් පමාවිය. ලෝකයේම සිගරට් කර්මාන්තයේ හැසිරීම නිරීක්ෂණය කලවිට පෙනී යන්නේ මධ්‍යම ආදායම් ලබන රටවල් අදවන විට සිගරට් සමාගම් වල ධන උල්පත වී ඇති බවයි. තවද රටේ පවතින නෛතික දුර්වලතා හා යහපාළන ගැටළු නිසා ඒ ඒ රටවල සිගරට් සමාගමේ බලය ඉතාමත් වැඩි වී ඇති බව පෙනෙන්නට තිබේ.

02. රටේ ආණ්ඩුව සමග සන්ධාන ගතවීමට දරණ උත්සාහයන් හා උපායමාර්ගික මැදිහත්වීම්,
උදා: සිගරට් මත පැනවෙන බදු හැකිතරම් අවම අගයක පවත්වා ගැනීමට වෙනත් ගැටළු රජයට පෙන්වීම. එහිදී රජයට විශාල බදු අදායමක් අහිමිවීම, නීති විරෝධී හොර සිගරට් රටතුලට ඒමේ අවධානම, බිඞී වැනි සෞඛ්‍යට අහිකකර දේ වැඩි වීම වැනි කරුණු පෙන්වමින් රජයන් නොමග යැවීමට සිගරට් සමාගම් නිර්න්තරයෙන් කටයුතු කරනු ලබයි. රටේ බදු ආදායමට සිගරට් සමාගම් විසින් දක්වන දායකත්වය අහිමි වී ගියහොත් යනුවෙන් රජයන් බිය වැද්දවීම නිසා සැබවින්ම ලෝකයේ බොහෝ රටවල් තවමත් සිගරට් සමාගම් සම්බන්ධයෙන් ලිහිල් ප‍්‍රතිපත්ති අයුගමනය කරනු ලබයි. සිගරට් සමාගම මෙම ප‍්‍රථිපල නෙලාගැනීම සඳහා මහජන සම්බන්ධතා මැනවින් උපයෝගී කරගනී.

03. සිගරට් භාවිතට පුරුදු කරවීම සඳහා කාන්තාවන් ඉලක්ක කිරීම.
උදා: අපේ රටේ පිරිමි ජනගහණයේ සිගරට් භාවිතය පසුගිය වසර 20 ක කාලය තුල ඉතා සීග‍්‍රයෙන් අඩු වී ඇති බව සමීක්ෂණ වාර්තා පෙන්වා දෙයි. එම අභියෝගය සඳහා මුහුණදීම සඳහා සිගරට් කර්මාන්තය විසින් ගන්නා ලද උපායමාර්ගික මැදිහත්වීම වන්නේ අපේ රටේ කාන්තාවන්ට සිගරට් භාවිතය හුරුකිරීමට අවශ්‍ය වැඩසටහන් ක‍්‍රියාත්මක කිරීමයි. ඒ සඳහා ප‍්‍රථමයෙන්ම සිගරට් පිළිබඳ අලංකාර හා උසස් ප‍්‍රතිරූපයක් ඇති කිරීම සඳහා කොළඹ තරුණ ගැහැණු ළමුන් වැඩියෙන් ගැවසෙන ස්ථාන හා කාන්තා පාලස් අවට සිගරට් බොන තරුණ කාන්තාවන් යොදවා ප‍්‍රචාරණ වැඩපිලිවෙලක් දියත් කොට තිබිණි. එම උපාය මගින් කාන්තාවන්ද තරුණ පිරිමි ළමයින්ද අරමුණු කරන ලද්දේ එක ගලෙන් කුරුල්ලන් දෙන්නෙක් නෙලා ගැනීමේ න්‍යාය සිහිපත් කරමිනි. කොළඹ ප‍්‍රදේශයේ තරුණ පිරිස් ගැවසෙන මරමස්ථාන වල රූමත් තරුණියන් සිගරට් භාවිතා කරනවා යැයි පෙන්වීමට සැලැස්වීමෙන් ගැහැණු, පිරිම් දෙපාර්ශවයම එම භාවිතයට ආකර්ෂණය කර ගත හැකිය. මෙම තත්වය තවදුරටත් ගෙන යමින් පාසල් මහා ක‍්‍රිකට් තරඟ පැවැත්වෙන ක‍්‍රිඩා පිටියක පේ‍්‍රකෂකාගාරයේ ඕනෑම අයෙකුට භාවිතා කිරීමට හැකිවන පරිදි සිගරට් පැකට් කිහිපයක් තැබීම සිදුවිය. එහිදී පාසල් ළමුන්ට පවා කිසිම වියදමක් නොමැතිව සිගරට්ටුයක් ගෙන ඉරීමට හැකියාව ලැබිණි. අපේ රටේ බොහෝ තරුණ පිරිසත් සිගරට් භාවිතයට අත්පොත් තබා ඇත්තේ මහා ක‍්‍රිකට් තරග වලදී බව පෙනෙන්ට තිබේ එම නිසා සූක්ෂම ලෙස සිගරට් සමාගම් එම අවස්ථාව මෙහිදී භාවිතාකර තිබේ.

04. සමාජ වගකීම ඉටුකරන ආයතනයක් ලෙස පෙනී සිටීමට ගන්නා උත්සාහයන්
උදා: මෙය අපේ රටේ ඉතාමත් හොඳින් සිගරට් සමාගම විසින් සිදුකරගෙන යනු ලබයි. වසරකට අපේ දරුවන්ගේ පියවරු 15,000 ක් පමණ මරා දමන සිගරට් සමාගම එම පව් හෝ මිනීමරු යන නරක නාමය ඉවත් කරගැනීම සඳහා නොකරන සමාජ සත්කාරයක් නැත. එහිදී කෘෂිකර්මාන්තය හා ගෙවතු වගාව, පොලිස් ස්ථාන මෙන්ම වෙනත් යටිතල පහසුකම් ඉදිකිරීම උදෙසා මූල්‍යමය අනුග‍්‍රහයන් රඩයට ලබාදීම සිදුකරනු ලබයි. යුද්ධයෙන් අනතුරුව උතුරේ ඉදිකරන ලද මාන්කුලම් හා කිල්නොච්චි යන පොලිස් ස්ථාන ඉදිකරන ලද්දේ මිනිමරු සිගරට් සමාගමේ අනුග‍්‍රහයෙනි. එසේ ඉදිකරන ලද පොලිස් ගොඩනැගිල්ලක සිට එහි නිළධාරීන්ට කිසියම් දිනෙක සිගරට් සමාගමට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කිරීමට සිදු වුවහොත් ඒ පිලිබඳ පොලීසියට කිහිප වර්ක් සීතිමට සිදුවනු ඇති. දක්ෂ, තරුණ පිරිසට අතදෙන සමාගමක් ලෙස විශ්වවිද්‍යාල සිසුන් ව්‍යාපාරයේ නොයෙක් අංශ වලට බඳවා ගැනීමට කටයුතු කිරීම මගින් තරුණ පිරිසට අතදෙන, ඔවුන්ව අගයන සංවිධානයක් ලෙස පෙනිසීටීමට උත්සහා දරයි. මේ සියළු මැදිහත්වීම් ඔවුන්ට අවශ්‍ය වනනේ ඒවා මගින් ඔවුන්ට ගෑවී ඇති නරක නාමය කිසියම් මට්ටමකට හෝ අකා මකා දැමීමට මෙම ක‍්‍රියාමාර්ග වලින් හැකිවන බව සිගරට් සමාගම් විශ්වාස කරන බැවිනුයි.

05. සිගරට් විකිණීමෙන්ද සිග‍්‍රයෙන් ඉවත්වෙන වෙළඳ මහතුන් රඳවා ගැනීම.
උදා: මේ වන විට වැල්ලවාය, බඩල්කුඹුර, පූජාපිටිය, වැනි නගර මෙන්ම පුද්ගලික වශයෙන් රටපුරාම විශාල වෙළඳ ව්‍යාපාරිකයන් පිරිසක් සිගරට් විකිණීමෙන් ඉවත් වී ඇති අතර එම අවදානම අඩුකර ගැනීම සඳහා සිගරට් සමාගම විසින් වෙළඳ මහතුන් සතුටු කිරීමේ වැඩසටහන් රට පුරාම ක‍්‍රියාත්මක කර ඇත. එහිදී වෙළඳසැල අළුත්වැඩියාකර දීම, අලංකාර සිගරට් රඳවනයන් දීම හෝ කොළඹට ගෙන්නා රාත‍්‍රී බෝජන සංග‍්‍රහයක් දීම වැනි වැඩ කටයුතු සිදුකෙරේ. මෙහිදී සිගරට් විකිණීමෙන් ව්‍යාපාරිකයන් ඉවත් කිරීමට උත්සහා ගන්නා සෞඛ්‍ය පරීක්ෂකවරුන් හා පොලිස් නිළධාරීන්ට සන්තොසම් හෝ තෑගි ලබාදීමට නිලනොවන ආකාරයෙන් සිගරට් සමාගම් මැදිහත් වන බවට අපේ රටේ නොයෙක් පලාත් වලින් විටින් විට ආරංචි විය.

මෙසේ මිනීමරු සිගරට් කර්මාන්තය ගන්නා තවත් කූට උපායන් ඉදිරි ලිපියකින් ඔබ වෙත ගෙන ඒමට බලාපොරොත්තු වේ.