7 Apr

දරුවන් පටලවන බිග් මැච් මගඩි

මේ දවස් වල රටේ ප‍්‍රධාන පාසල් අතර අන්තර් පාසල් මහා ක‍්‍රිකට් තරග පැවැත්වේ. මේ වන විට බොහෝ නගරවල පාසල් ක‍්‍රිකට් තරග අවසන් වී ඇති අතර තවත් ප‍්‍රධාන පසල් කිහිපයක පමණක් ඉදිරි දිනවල තරග පැවැත්වීමට නියමිතව ඇත. මහා ක‍්‍රිකට් තරග ගැන අමුතුවෙන් කිව යුතු නොවන්නේ වසර 100 ට වඩා පැරණි පාසල් මහා ක‍්‍රිකට් තරග පැවැත්වීමට තරම් අපේ රටේ පාසල් ක‍්‍රිකට් තරග ඉතිහාසය පැරණි බැවිනි. මෙය වසරකට වරක් පාසලේ සිදුකරන සැණකෙළියක් කිවහොත් නිවැරදියි. වර්තමාන සිසුන් හා ආදී සිසුන් සිය පාසලේ මහා ක‍්‍රිකට් තරග පැවැත්වෙන දිනවලට පාසලේ කි‍්‍රිකට් කණ්ඩායම දිරිමත් කිරීමට පෙළගැසෙන්නේ ආඩම්බරයෙනි. මෙම අවස්ථාව ආදී සිසුන්ට සිය මිතුරන් සමග කාලය ගත කිරීමට ලැබෙන අපූරු අවස්ථාවකි. මෙවරද මහා ක‍්‍රිකට් තරග ජයටම පැවැත්වෙමින් යන අතර ඔබගේ අවධානය අළුත් යමක් කෙරේ යොමු කිරීමට කැමත්තෙමි. අපි කව්රුත් හොඳින් අත්දැකීමෙන්ම දන්නා කාරණයක් තමයි පාසල් සිසුන් බොහෝ පිරිසක් සිය ප‍්‍රථම මද්‍යසාර හා සිගරට් අත්දැකීම ලබාගන්නේ මේ පාසල් අන්තර මහා ක‍්‍රිකට් තරගවලදී බව. එය ඉතිහාසයේ සිට මේ දක්වාම වෙනසක් වී නොමැති බව මාගේ අත්දැකීමයි. පාසල් දරුවන්ට සිගරට්, අරක්කු හා බියර් භාවිතය සතුටුදායක දෙයක් ලෙස හුවාදැක්වීමට මහා ක‍්‍රිකට් තරග සංස්කෘතිය බෙහෙවින් ඉවහල් වූ බව නම් කිව යුතුමය. පෙරදවස මෙන් පාසල් සිිසුන් හැට් කලේක්ෂන් දමන ආකාරයක් අද දක්නට නැත. එදා හැට් කලෙක්ෂන් දමා එකතු කල මුදල්ද සමහර විට අරක්කු, බියර් හෝ සිගරට් මිලදී ගැනීමට යොදාගන්නා ලදී. අද වන විට මද්‍යසාර හෝ සිගරට් ගැනීමට තියා කෑම බීම සපායා ගැනීමටවත් එසේ කලෙක්ෂන් දැමීම නොකරන පාසල් සිසුන් මහා තරඟ දිනයේදී අදාල පිට්ටනියේ දී නම් ඒවා භාවිතා කර සිටීම දක්නට ලැබේ.

සමහර සිසුන් සිය දෙමව්පියන්ගේ මුදල් වලින් ඒ සියළු අවශ්‍යතා සපුරා ගන්නවා ඇතැයි සිතිය හැකිය. මෙවන් අවස්ථාවන් වලදී කිසිසේත්ම අරක්කු හෝ බියර්, සිගරට් බීමට කිසිදු අවශ්‍යතාවක් නැතිව මහා ක‍්‍රිකට් තරගයට සාභාගී විමට පැමිණි බොහෝ සිසුන්ට පවා ඒවා බොන්න සිද්ද වෙන වටපිටාවක් ඇතිවී තිබෙනවා. අද වන විට මෙම තත්වය තවත් වඩා වර්ධනය වී ඇති බවක් පෙනේනට තිබෙන්නේ ආදී සිසුන්ට වෙන්කර ඇති ප‍්‍රදේශයේ බියර් හා අරක්කු භාවිතයට පහසුකම් සපයා ඇති නිසයි. තවද මේ වන විට ආදි ශිෂ්‍ය සංගම් හරහා බියර් සමාගම් පාසල් මහා ක‍්‍රිකට් තරග තුල යම් ස්ථානයක් තහවුරු කරගැනීමට හැකි වන පරිදි කටයුතු කිරීම දක්නට ලැබේ. පාසල් දරුවන්ට පලමු බියර්, අරක්කු මෙන්ම සිගරට් හෝ ගංජා පාඩමද කියා දෙන මහා ක‍්‍රිකට් තරග වර්තමානයේ පාසලේ බලපෑමෙන් ගිලිහෙමින් පවතින බවක් පෙනෙන්නට තිබේ. එය අනාගතයේදී අප තරුණ පරපුරට දීර්ඝකාලීක අවාසිදායක තත්වයන් ඇති කිරීමට හේතුවක් වනු ඇති. මන්ද අතිශය සතුටු පරිසරයක, වටපිටාවක කුමක් කලත් ඒවා ගොනු වනනේ සතුටු වැඩ ගොන්නටයි. මද්‍යසාර හෝ සිගරට් භාවිතයද අප‍්‍රසන්න, අමිිහිරි අත්දැකීමක් වුවත් එය භාවිතා කරන පරිසරයේ බලපෑම මත ඉහත සියළු අපහසුතා වැසී යයි. පාසල් සමයේ සිටම සතුට හා මත්ද්‍රව්‍ය අතර කිසිදු පැහැදිලි සම්බනධයක් නොමැති බව අවබෝධ කරගැනීමට ඇති අවස්ථව මහා ක‍්‍රිකට් තරඟවල ආකර්ෂනීය බවෙන් වැසීයයි.

  

Pic by: Nation.lk                                                                                Pic by: ceylontoday.lk
මීට ආසන්න දිනක සිය පාසලේ මහා ක‍්‍රිකට් තරඟයට සභාගී වූ මාගේ හිතවතෙක් සිය අත්දැකීම ප‍්‍රකාශ කරමින් කියා සිටියේ ඔවුන් සිටි ආදී සිසුන් වෙනුවෙන් වෙන් කරන ලද කොටසේ සිගරට් පැකට් වර්ග කිහිපයක් ඕනෑම අයකුට ගැනීමට හැකිවන පරිදි තිබෙනු දක්නට ලැබුණු බවයි. තවද මේවා එම ස්ථනයට රුගෙන ආ පුද්ගලයෙක් පැහැදිළිව කිව නොහැකි බව ඔහු නිරීක්ෂණය කර තිබිණි. මීට වසර කිහිපයකට පෙර දිවයින පුවත් පත අනාවරණය කල සිගරට් කර්මාන්තයේ උපක‍්‍රමයක් ඒ අවස්ථාවේම මාගේ මතකයට නැඟුනේය.”මරඟනන් දුටිමි” යන මැයෙන් සවිතරාත්මකව සිදුකල මේ හෙලිකිරීමෙන් පෙන්වා දුන්නේ කාන්තාවන් සිගරට් භාවිතයට පුරුදු කරගැනීමට රූමත් තරූණියන් යොදාගෙන සිදුකරන කූට උපායක් පිළිබඳවයි. මෙහිදී වාර්තාකරු සඳහන් කර තිබුනේ එවන් තරුණියන් කොළඹ හා තදාසන්න ප‍්‍රදේශ වල සිගරට් පැකට් අතැතිව හා සිගරට් දල්වාගෙන සංචාරය කරමින් සිටිනු දක්නට ලැබුනු බවයි. එහෙත් ඔවුන් ඒවා භාවිතා කරන බවක් නොපෙනුන බවද වැඩිදුරටත් සඳහන් කර තිබිණි. මේ වන විට මහා ක‍්‍රිකට් තරග වලද සිදුවන්නේ මේහා සමාන සංසිද්ධියක් දැයි සාධාරණ සිතිවිල්ලක් මට ඇතිවේ. කිසියම් පුද්ගලයෙක් විසින් ක‍්‍රීඩාංගණය තුලට හිතාමතාම සිගරට් ගෙන ඔනෑම අයකුුට භාවිතා කිරීමට හැකිවන ලෙස තැබීම සිගරට් කර්මාන්තයේ කූට උපායක් නොවේ යයි කිවහැකිද? ලෝකයේ සිගරට් හෝ මද්‍යසාර වැනි දෑ ඵලදායීව අවම කිරීම උදෙසා අනුගමනය කරන ක‍්‍රියාමාර්ග ලෙස සැලකෙන්නේ ඒවායේ මිලගණන් සාමාන්‍ය ජනයාට මිලදී ගැනීමේ හැකියාවෙන් එහා මට්ටමකට ගෙනයාම හා භාවිතයට අපහසු වටපිටාවන් ඇතිිකිරීම යන ක‍්‍රමවේදයි. මේ සියලූ ඵලදායී ක‍්‍රියාමාර්ගයන් උල්ලංඝණය වන ලෙස සිය ව්‍යාපාර හැසිරීම සිදුකිරීම මත එම කර්මාන්ත වල අනාගතය රඳාපවතින බව ඔවුන් හොඳින්ම දනී. එමනිසා වර්තමානයේ මහා ක‍්‍රිකට් තරගත් සියුම් ලෙස මද්‍යසාර හා සිගරට් කර්මාන්තයේ අවශ්‍යතාවයන් ඉටු කරගැනීමේ තෝතැන්නක් ලෙස භාවිතා වනු පෙනෙන්නට තිබේ. එමනිසා පාසල් මට්ටමෙන් මේවා සංව්ධානය කිරීමේදී වැඩි සැලකිල්ලක් දැක්විය යුතු අතර පාසල් සංස්කෘතිය පවත්වාගෙන යාමට ප‍්‍රමුඛතාවය ලාබාදෙනු විනා විවධ කර්මාන්ත වල පැවැත්මට උඩගෙඩි දීම ලෙඞ්ඩු පිරිසක් ඇතිකරීමට හේතුවනු ඇති. මත්ද්‍රව්‍ය භාවිතයේ අපහසුව හෝ නිවට බව වසං කරමින් තැවරෙන සීනි තැවරුමක් වන මහා ක‍්‍රිකට් තරග සමයේ ස්වාභාවිකවම ඇතිවන සතුටේ එළියෙන් අවසානයේ බැබලෙන්නේ මත්ද්‍රව්‍යයි. මේ අවාසිදායක තත්වය මේ පාසල් වල ඉගෙන ගත් දරුවන් ඉතිහාසයේ සිටම විවිධ මට්ටමෙන් උරුම කරගෙන සිටී, ඒ නිසා ඔවුන් ආදී සිසුන් ලෙස මහා ක‍්‍රිකට් තරගයට එන්නේ නැවත මද්‍යසාරය සමගයි. මේ වක‍්‍රය බිඳ දැමීමට අසමත් වුවහොත් සිදුවන්නේ මිනිසුන් අප‍්‍රාණික, අසෞඛයමත් හා අවලස්සන කරනය නිෂ්පාදනයන්ට දරුවන් ගොදුරුකරවන අවස්ථාවක් බවට මහා ක‍්‍රිකට් තරග පත්වීමයි. මද්‍යසාර හෝ සිගරට් සතුට ඇතිකරන මාධ්‍යක් නම් ඒවා ගොඩක් භාවිතා කරන තරමට සතුට වැඩි විය යුතුයි. එහෙත් අපිට පෙනෙන්නේ එසේ භාවිතා කල අය වමනය දමාගෙන හෝ අපහසුවෙන් සිටින ආකාරයයි. මෙය දඩමීමා කරගෙන පොඞ්ඩක් මද්‍යසාර හෝ මත්ද්‍රව්‍ය භාවිතා කරීම සැපක් යයි අදහන මිනිසුන් තම ඇදහිල්ල පෙරදැරි කරගෙන පොඞ්ඩක් භාවිතා කර පොඩිඩක් අපහසුවෙන් සිටී. මේ සෑම තත්වයක්ම හොඳින් අවබෝධ කරගත් මිනිසුන් භාවිතා නොකර කිසිම ශාරීරික අපහසුවකින් තොරව ඕනෑම ස්ථානයක ඉතා පහසුවෙන් සිටී. දරුවෙක් තරුණයෙක් බවට පත්වන්නේම පැටලීම් බොහෝමයක් මැද්දේ යයි මට හැගේ. ඇත්තටම දරුවකුව මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් එසේ පටලවන එක් තැනක් ලෙස මේ මහා ක‍්‍රිකට් තරග සඳහන් කල හැකි අතර එය එකම හේතුකාරකය නොවේ. ගෙදර උපන්දින සාදය, මංගල උත්සව, අවමංගල්‍යන් හෝ බොහෝ සමාජ එකතුවීම් අපේ දරුවන්ව පටලවා තරුණයන්, තරුණියන් බවට පත්කරයි. ඒ පැටලැවිල්ල තාර්කිකව ලෙහා ගැනීමට අපොහොසත් වන්නෝ මත්ද්‍රව්‍ය භාවිතයේ විවධ මට්ටම් වල කල් ගෙවති. එසේ නොසිට තවත් පිරිසක් ඒ වෙත පුරුදු කරවා ගැනීමටද උත්සහා කරනු ලැබේ. එසේනම් මේ මගඩියේ මුල හඳුනාගෙන අවබෝද කරගෙන ක‍්‍රියාත්මකවීම බොහෝ පසුකාලීන ගැටළු ඇතිවීම වැලැක්වීමට ඇති ඵලදායීම ක‍්‍රමයයි.