11 Jan

ගංජා කරලියට ගෙනෙන මිත්‍යා මත

හෙරොයින් හා සමානවම ගංජා භාවිතයටද එකිනෙකට සමාන හා වෙනස් මිත්‍යා විශ්වාස රාශියක් පවතින අතර ඒවා පිළිබඳව වෙන වෙනම අධ්‍යනය කිරීම සිදුකල යුතුය. ඒ ඒ මත්ද්‍රව්‍යන්ට ඇත්තේ විවිධ ව්ශ්වාසයන් බැවින් හා සංස්කෘතියක් බැවින් ඒවා වෙන වෙනම අධ්‍යනය කලයුතු බව මාගේ හැඟීමයි.

”ගංජා බිව්වාම කලාත්මක සිතුවිලි පහල වෙනවා, පාඩම් කරද්දි හොඳට මනසට වදිනවා”

ගංජා බොන පිරිස අතර ඉතාමත් ජනප‍්‍රිය මිත්‍යාව මෙය වන අතර තවත් පිරිසක් ඒ වෙත නැඹුරුවීමටද හේතුවන උත්තේජකයක් වේ. මෙම ප‍්‍රකාශයේ ඇති සත්‍ය අසත්‍ය බව සොයා බැලීමේදී ගංජා හා හෙරොයින් භාවිතය සිදුකරන කණ්ඩායමේ ප‍්‍රධනම වෙනස්කමද හඳුනාගැනීමට හැකිවිය. එනම් ගංජා භාවිතය සිදුකරන්නේ කිසියම් වෘත්තීය හෝ අධ්‍යාපන පසුබ්මක් ඇති අය වන අතර හෙරොයින් භාවිතයේ නියැලෙන පිරිස පෙර සඳහන් කල පරිදි ඉතාම පහල තලයේ රැකියා වල නැයුතු වූ පිරිසක් වේ. ගංජා භාවිතා කරන පිරිස අතර කළාකරුවන් හා නිර්මාණකරණයේ නියුතු පිරිසක් මෙන්ම විශ්වවිද්‍යාල ශිෂ්්‍ය පිරිස් ද ඇත. එමනිසා මෙම භාවිතයට වඩාත් වැඩි වටිනාකමක් එක් වී තිබේ. ගංජා භාවිතය හා නිර්මාණකරණය අතර ඇති කිසියම් සම්බන්ධතාවයක් සොයා ගැනීමට නම් නිර්මාණකරණයේ නොයෙදෙන අයෙකුට ගංජා ලබා දී ඒ පිලිබඳව නිරීක්ෂණය කල යුතුය. නිර්මාණ කිරීමට හැකි පුද්ගලයක් කිසියම් හේතුවක් නිසා ගංජා ඉරීමට පුරුද්දක් ඇති කරගත්තා විනා මේවා භාවිතය මගින් නිර්මාණකරුවන් බිහිනොවන බව එම සරල නිරීක්ෂණයෙන් පැහැදිලි කරගත හැකි වනු ඇති. නිර්මාණශීලි කලාකරුවන් මේවා භාවිතා කලත් නොකලත් නිර්මාණාත්මක ඉදිරිපත් කිරීම් සිදුකරන අතර ගංජා බීම නිසා මෙම නිර්මාණය කලා යැයි කිව හැකි නිරිමාණයක් කිසිවෙකුට ඉදිරිපත් කල නොහැකිය.

ගංජා සුරුට්ටු ඉරීම විශ්ව විද්‍යාල සිසුන් අතර ජනප‍්‍රිය වෙමින් පවතින්නේ එහි පාඩම් මතක හිටින ගූණයක් ඇතැයි යන මිත්‍යා විශ්වාසය පෙරදැරි කරගෙනයි. මෙහිදී ද කිව හැක්කේ එසේ ගංජා බොන ගමන්ම වෙනදාටත් වඩා ආයාසයකින් පාඩම් කටයුතු සිදුකිරීම නිසා අත්කරගත් තත්වයක් මිස ගංජා නිසා සිදු වූ දෙයක් නොවන බවයි. එහෙත් මේ කණ්ඩායම් වල ප‍්‍රබලත්වය නම් නොසලකා සිටිය නොහැකිය, වෘත්තිය කලාකරුවන්, ශිල්පීන්, දක්ෂ ශිෂ්්‍යයන්,ඡයාරූප ශිල්පීන්, විධායක නිළධාරීන් ඇතුළු මේ ඕනෑම අයෙක් ගංජා භාවිතය වෙනුවෙන් පෙනී සිටීමේ අවදානම අමුතුවෙන් කිවයුතු නොවන්නේ ඔවුන් අතිශය අකාර්ශණීය පිරිසක් බැවිනි.

“ගංජා ආයුර්වේදයේ බෙහෙත් විදියට භාවිතා වෙන නිසා”

ඕනෑම මත්ද්‍රව්‍යක් භාවිතයේ ඇති ගැටළුව වන්නේ ඒවායින් ඇතිවන සෞඛ්‍ය, ආර්ථීක හෝ සමාජ හානිය පමණක් නොවන බව අප මීට ඉහතදීත් සාකච්ඡුා කරන ලදී. ඒ අනුවම කිව යුත්තේ ගංජා බීලා මැරෙන මිනිසුන් හෝ ලෙඩ වෙන මිනිසුන් පිළිබඳ සංඛ්‍යාත්මක ගණන් හිලව් ඉදිරිපත්කරනවාට වඩා එවා භාවිතයෙන් කිසිවෙක් අපේක්‍ෂාකල ආකාරයේ දේවල් ලැබී යන්න ඇතිදැයි සොයාබැලීමයි. මෙම ශාකයේ කිසියම් ආයුර්වේදමය වටිනාකමක් අතිවාට සැකයක් අප තුල නැති අතර එහෙත් එය දඩ මීමා කරගෙන භාවිතය පවත්වා ගැනීම හෝ දිගින් දිගටම එයට රැවටීම අනුවණ කි‍්‍රයාවකි. ආයුර්වේදයේ පාවිච්චි වෙනවා කියා ගංජා බොන එක සාධාරණීකරණය කරන පුද්ගලයන්ට ගංජා වලින් සාදන ලද බෙහෙත් ගුලියක් බොන්න කිවහොත් ගංජා සුරුට්ටුවක් ආකාරයෙන් බොන තරම් උනන්දුවක් දක්වන්නේ නැත. මන්ද ඔවුන්ට ගංජා භාවිතයේ රසවත් කොටස එය භාවිතා කරන ආකාරය විනා රසායනිකමය අත්දැකීම නොවන නිසයි.

සියළු මත්ද්‍රව්‍යන්ට ලබා දී ඇති සංස්කෘතිකමය වටිනාකම නිසා එය වඩාත් බැබලීමට හේතුවන බව ගංජා මත්ද්‍රව්‍ය මගින් හොඳින් අවබෝද කරගත හැකිය. කිසියම් පුද්ගලයෙක් දුර්ලභ ගසක කොලයක් වියලා සුරුට්ටුවක් ආකාරයන් ඔතා ඉරීමට ගංජා හා සමානම වටිනාකමක් ලබා දුනහොත් එය භාවිතා කිරීමට විශාල පිරිසක් පෙළගැසෙනු ඇති අතර, ගංජා බොන අයද එම භාවිතය සිදුකොට තහවුරු කරනු ඇත. එමනිසා අවශ්‍ය වන්නේ කිසියම් භාවිතයක් වටා නිසි වටිනාකමක් ගොඩගැගීම පමණි. එහිදි එය භාවිතා කරන ආකාරය, එය සොයාගැනීමට ගන්නා උත්සාහය, භාවිතයට සූදානම් වන අකාරය, ඒ වටා ගොඩනැංවෙන වචන ආදියත් වැනි සියළු කාරණා වල බලපෑම මත මත්ද්‍රව්‍යක් ලෙස ස්ථාපිත වීම සිදුවනු ඇති.

”ලෝකයේ බොහෝ රාජ්‍යන් ගංජා නීත්‍යානූකූල කිරීමට කටයුතු කරන බව”

මේ වන විට අමෙරිකා එක්සත් ජනපදයේ ප‍්‍රාන්ත 04 ක පමණ ගංජා භාවිතය එම ප‍්‍රාන්ත තුල නීත්‍යනුකූල කොට ඇති අතර නෙදර්ලන්තය හා උරුගුවේ රාජ්‍යන් ලෙස එය නිත්‍යනූකූල කොට ඇත. මෙම වාතාවරණයන් දෙස ඉතාමත් සූක්ෂම මනසින් බැළිය යුතු අතර ලොකෙයේ සිගරට් කර්මාන්තය කෙමෙන් බිඳවැටීමේ අවදානමකට ලක්ව ඇති බැවින්, එම කර්මාන්තයන් සිය ඊළඟ මෙහෙයුම ආරම්භ කොට ඇති බව එවිට අපට හඳුනාගත හැකිය. මෙයට හොඳම උදාහරණය නම් ලෝකයේ සිගරට් පාළනය සම්බන්ධයෙන් ඉතාම ඉහළ මට්ටමේ උපායමාර්ගික මැදිහත්මක් ලෙස සලකන සිගරට් පැකට් මත රූපමය අවවාදයන් විශාල ප‍්‍රමාණයෙන් දැමීම හොඳින්ම සිදුකරන ලද උරුගුවේ රාජ්‍ය ගංජා භාවිතය නිත්‍යනූකූල කිරීම මෙහිදී අධ්‍යනය කලයුතු තත්වයකි. ඒ සමගම එක්සත් ජනපදයේ පෙර කී ජනපද වල ගංජා වලින් සෑම සිගරට් මේ වන විට වෙළඳපොළේ විකිණීමට ඉදිරිපත් කිරීමට සිගරට් සමාගම් කටයුතු සම්පාදනය කරන ලදී. එකිනෙකට සම්බන්ධ මෙවැනි මැදිහත්වීම් මගින් මෙම ක‍්‍රියාවලිය පිටුපස සිගරට් සමාගම් වල අවශ්‍යතාවය ඇති බව ගම්‍ය වේ. කෙසේ වෙතත් හැකිතරම් රාජ්‍යන් මෙම කටයුත්තට පෙළඹවා ගැනීමට සියළු කටයුතු සිගරට් සමාගම් විසින් ඉදිරියටත් සිදුකරනු ඇත. එහිදී සාවද්‍ය සමීක්ෂණ වාර්තා, පුවත් පත් ඇතුළු මාධ්‍ය පෙනීසිටීම් මෙන්ම දේශපාලනික මුහුණුවරක් ගත් සංව්ධාන හරහා ගංජා නිත්‍යානූකූල කිරීමේ ඉල්ලීම් සිදුකිරීම මගින් බළපෑම් ඇතිකිරීම සිදුවනු නියතයි. අපේ රටේද ඇතුළුව මෙම තත්වය විවිධ මට්ටමෙන් මේ වන විටත් ක‍්‍රියාතමක වේ. අපේ රටේ සමහර ජනප‍්‍රිය පුද්ගලයන් හා පුවත්පත් ගංජා භාවිතය පිළිබඳ අත්‍යාලංකාරය එක්කරමින් සිටින්නේ ලෝක න්‍යාය පත‍්‍රයේ මේ වන විට රඟ දැක්වෙන නාට්‍යයේ කොටසක් ඉටුකිරීමට බව කිව නොහැක්කේ කාටද?