11 Jun

කලා ලෝකයෙන් අරක්කු කොම්පැණියට තවත් බිලි

තවත් කරුවෙක් සිය ජීවන ගමනට සමු දී ඇති බව ප‍්‍රවෘත්තී විකාශයක අසන්නට දකින්නට ලැබුණි. මා සමග ප‍්‍රවෘත්ති බලමින් සිටි සහෝදරයාගේ ප‍්‍රතිචාරය වූූයේ ”ශුවර් එක්ට බීලා බීලා තමා මැරෙන්න ඇත්තේ” කියලා නම් විය. අපේ රටේ බෝහෝ කලාකරුවන්ගේ අකල් මරණ වලට හේතුව අරක්කු, මද්‍යසාර භාවිතයද ? එය නම් දන්නේ දනිති. කිසියම් කලාකරුවෙක් ගේ අවමංගල්‍යකට සහභාගී වූ අවස්ථාවක එහි සිටි පිරිස අතර සාකච්ඡුාවට භාජනය වූයේ මියගිය තැනැත්තාගේ මද්‍යසාර භාවිතයේ ස්වභාවය පිළිබඳවයි. එහිදී ඇසුන කතා,

”අහවල් කලාකරුවා සමග තමා බිව්වේ”
”බීපු එකම තමයි කරලා තියෙන්නේ හම්බකරපුවයින් කරගත්ත දෙයක් නෑ”
”මේ පොඩි දරුවෝ එක්ක මේ ගෑණු කෙනා මොකක් කරන්න ද මන්දා ”
”සංගීත ප‍්‍රසංග වලදි සල්ලි නෙමේ අරක්කු වලට වැඩ කරලා එනවා”
” ලක්ෂ ගාණක අරක්කුම බොන්න ඇති, පුදුමයි මෙච්චර කල් හිටියා බීපු බීමට”

මෙන්න මේ වගේ සියයක් කතා කළා කරුවෙකුගේ මරණ ගෙදරකට ගිය අවස්ථාවක මට අහන්න ලැබුණා. හැම කළාකරුවෙක්ගෙම මරණයකට මද්‍යසාර හේතුවක් වුනා කියන්න බෑ. ඒත් බහුතරයක් කලාකරුවන් හා මාධ්‍යවේදීන් ගේ මරණ වලට ඔවුන්ගේ මද්‍යසාර භාවිතය හේතුවක් වන බව එම ක්ෂේත‍්‍රවලම කටයුතු කරන පිරිස හොඳින්ම දන්නා කරුණක්. වරද ඇත්තේ කොතැනද ?

අරක්කු නිසා අපේ රටට අහිමි වුන සියළු කලාකරුවන්ට මීට වඩා වැඩි යමක් ඒ අයගේ පේ‍්‍රක්ෂකයෝ වෙනුවෙන් කරන්න තිබුණා. පේ‍්‍රක්ෂකයන්ගේ කෙසේ වෙතත් ඒ අයගෙම පවුල් වල අයටවත් අද තියනවාට වඩා හොඳ ජීවන තත්වයක් ලබා දෙන්න තිබුණ හොඳම අවස්ථාව අකාලයේ මියැදීම නිසා බොහෝ කළාකරුවන්ට අහිමි වෙලා. ඔවුන් බොහෝමයකගේ මරණයට කෙලින්ම වගකිව යුතු අරක්කු සමාගම් වලින් ශෝකය පලකර මල් වඩමක්වත් නෑ.