15 Mar

ආදරයේ උල්පත තවමත් වියලී නැත.

තවත් කාන්තා දිනයක් ආසන්නයේ ඇති අතර කාන්තාව ගැන නැවතත් කතිකාව ඇතිවෙමින් පවතී. වර්තමාන දේශපාලන වේදිකාවේද කාන්තා නියෝජනය වැඩිකිරීම සම්බන්ධයෙන් නොයෙක් තීන්දු තීරණ සම්පාදනය වෙම්න් පැවතීම ජනතාව පැත්තෙන් අපි ලබනා ජයග‍රහණයක් සේ සැලකිය හැකියි. කාන්තාවෙගේ නියෝජනය ගැන කතා කිරීමේදී මා හට හැෙඟන පොදු සිතුවිල්ල නම්, කිසියම් තැනෙක කාන්තාව නියෝජනය වන්නේද, එය මානූෂීය භාවයෙන් පිරිමි පාර්ශවය ඒ ඒ ස්ථාන වල ස්ථානගත වෙනවාට වඩා යහපත් වනු ඇති බවයි. ස්භාවධර්මය විසින් පුරුෂයාට වඩා වැඩි මානුෂීය හැඟීම් වලින් පොහොසත් කොට කාන්තාව නිර්මාණය කොට ඇත්තේ සමබරතාව වෙනුවෙන් වියහැකිය. අපගේ ගෙදර තත්වයේ සිටම සැළකීමට ගතහොත් රටේ හා ලෝකයේ පාලන තන්ත‍්‍රය දක්වාම මා මේ මතු කරන උපකල්පනය සත්‍යක් බව පසක් කර ගැනීමට ඕනෑතරම් සක්ෂි ඔබට හමුවනවා නොවනුමානයි.
ඕනෑම මවක් දරුවන්ට හොඳම දේ දෙන්න උත්සහා කරනවා වාගේම ස්වභාවිකවම කාන්තාවන්ට ලෝකයේ අනෙක් දරුවන්ට අවැඩක් සිදුකිරීමට හිත් නොදේ. ලෝකයට අවැඩක් වෙන කිසියම් ස්ථානයක් වේ නම් හොඳින් බලන්න ඒ බෝහෝ ස්ථාන වල වැඩි බලය හිමිව ඇත්තේ පුරුෂ පක්ෂයටයි. ලොව පුරා සිගරට්, මද්‍යසාර සමාගම් වල මුල් පුටු වල ඇත්තේ 90% ට වැඩි පිරිමි පාර්ශවයයි. මෙම කර්මාන්තයන් දෙකම ලෝකයේ පැවතීම නිසා ලෝකයට සිදුවන හානිය අමුතුවෙන් කිවයුතු නොවේ. මිනිසුන් සුවපත් කිරීමේ හා සහන සැලසීමේ කාර්්‍යයේ ඉදිරියෙන්ම සිටින්නේ කාන්තාව යැයි කීමට ඕනෑ තරම් සාක්ෂි වේ. එයට හොඳම උදාහරණයක් ලෙස කිව හැක්කේ ලෝකය පුරාම සිගරට් කර්මාන්තයට එරෙහි බලවේගයට නායකත්වය ලබාදුන්නේ කාන්තාවන් බැවිනි. ලෝක සෞඛ්‍ය සංව්ධානය හා බොහෝ බටහිර රටවල සිගරට් මර්ධන ව්‍යාපාරයේ කොඳු නාරටිය බවට කාන්තාව පත්විය.

සිය ආදරණීයන්ගේ සිගරට් හෝ මද්‍යසාර භාවිතය නිසා කාන්තාව තරම් අපහසුතාවට පත්වන, පීඩාවට පත්වන තවත් පිරිසක් නැති තරම්වේ. කට වහරෙට ගැහැණියකුගේ දුක තේරෙන්නේ ගැහැණියකටම කියන කතාව පසක් කරමින් අපේ රටේ පැත්තෙන් බැළුවත් සිගරට් හා මද්‍යසාර කර්මාන්තයේ මුල් පුටු වල ඉන්නේ අතලොස්සකටත් වඩා අඩු කාන්තා නියෝජනයක්. එයයි කාන්තාවගේ සුව්ශේෂීත්වය. ඇය, ඇය ගැන පමණක් සිතා කටයුතු නොකරන අතර ඇයට ස්භාවධර්මය විසින් ලබා දී ඇති සමාජ වගකීම හා නිබඳවම බැඳේ. ලෝකයේ ප‍්‍රධාන පෙලේ ආයතන, දේශපාලන හෝ වෙනත් අධිකාරයන් තුල කාන්තා නියෝජනය වැඩිවීමේ අපිට නොදැනෙන එහෙත් ලෝකයට ඇති ප‍රධානම වාසිය එයයි. දරුවන් වෙනුවෙන් අව්‍යාජව පෙනී සිටින්නේ නම් ඒ බොහෝ විට කාන්තා චරිතයකි. එය අපි බොහෝ විට වෙළඳ දැන්වීම් වල දකිනා කාන්තාව වැනි වාණිජාර්ථයෙන් සිදුකරන පුහු පෙනීසිටීමක් නොවේ හදවතින්ම ඉදිරිපත්වීමකි. මේ හේතුව නිසාම ලෝකයේ ඕනෑම භාණ්ඩයක් විකිණීමේ ධූත මෙහෙවර සඳහා කාන්තාවන් යොදාගැනීම සුලබ කාරණයකි. අම්මා, අක්කා, නංගී චරිත අරූඩයෙන් ලෝකයේ සුවහසක් පිරිසට නොයෙක් භාණ්ඩ විකිණීම සිදුකරයි. මා ආදරේ කරන මා ලඟින්ම සිටින ආදරණීය අයෙක් කිසියම් භාණ්ඩයක් භාවිතා කිරීමෙන් හෝ පුරුද්දක් ලෙස හුවාදැක්වීමෙන් ඒවාට මා පෙළඹවීමේ හැකියාව වැඩි බව ලෝකයේම සමාගම් හොඳින් දනී. එමනිසා ටෙලිනාට්‍යයේ, ච්ත‍්‍රපටයේ, වෙළඳ දැන්වීමේ සිට කාන්තාව හරහා අප මත ඇතිකරන බලපෑම සුළු පටු නොවේ. එය ඉතා පහත් අන්දමෙන් යොදාගැනෙන්නේ කාන්තා චරිත වලට සිගරට් හා මද්‍යසාර භාවිතය ආරූඩ කිරීම මගිනුයි. එවන් අවස්ථා වර්තමානයේ රූපවාහිනිය ඉදිරියේ සිටින ඔනෑම අයෙකුට අරුමයක් නොවේ.

සියළු දේ වාණිජකරණය වීම තුල කාන්තාව සතු පෙර කී ආදරණීය ස්භාවධර්මයේ ගුණයද නැතී වී ගොස් යැයි වරෙක සිතුනත්, වෘත්තිකයන් ලෙස කාන්තාවන් සිය හැකියාව හා දක්ෂතාවය ලෝකයේ මානව පැවැත්මට හානිගෙන දෙන ආකාරයෙන් යොදාගැනීම, පිරිමින් එහි යෙදීමට වඩා බොහෝ ගුණයකින් අඩු බව ඔබට පහසුවෙන් හඳුනාගැනීමට අවශ්‍ය නම් පෙර කී ආකාරයේ උදාහරණ ඔස්සේ සොයා බලා තීරණය කරන්න. එවන් කිසියම් හෝ වෘත්තීය නිපුනතාවයක් මගින් සිය දායකත්වය සිගරට්, බියර්, අරක්කු හෝ කිසියම් ආකාරයක මිනීමරු ව්‍යාපාරයකට ලබාදෙන ඉතා සුළු පිරිසක් වන ආදරණීය අම්මේ, අක්කේ, සහෝදරිය උපන් නූපන් දරුවන් වෙනුවෙන් ස්භාවධර්මයා විසින් ඔබට පවරා දී ඇති රාජකාරිය අමතක නොකරන්න. ආයාසයකින් හෝ යටපත් කරගෙන ඉන්නා සෙනෙහස පෙරදැරිව ජීවයේ පැවැත්ම වෙනුවෙන් පෙනී සිටින්න. ඔබේ දරුවා, මගේ දරුවා යැයි වෙනසක් නැතිව සැලකීමට හැකි උතුම් කාන්තා ගුණාංගය හැඟීම් දැනීම් වියළුනු, මිනීමරු කර්මාන්තයන්ට තවදුරටත් පාවා නොදෙන්න. ලොවම ආදරයේ උණුහුමින් තෙත්කරන කාන්තා ඔබට, පෙර සඳහන් කල සමාගම් වෙනුවෙන් හැඟම් දැනීම් වියලා ගැනීමට සිදු නොවේවා මෙවර කාන්තා දිනයේ මාගේ පැතුමයි.