8 Jan

අරයත් බිව්වා …මෙයත් බිව්වා ඒ නිසා මාත් බිව්වා ,,,,

මේ කතා කරන්න යන මාතෘකාවෙන් අනුන් කළ පළියට තමනුත් කරන දේවල් සාධාරණිකරණය කරන අය ගැනයි. මේ පාරිභෝජන සමාජයේ අපිට පැන නගින ගැටළු නම් මෙච්චරයි කියලා නම් කරන්න බෑ,

මෙහෙම තත්වයක් තියෙද්දි කෙනෙක්….

පාවිච්චි කරන යම් භාණ්ඩයක් ගැන තව කෙනෙක් ප‍්‍රශ්න කලොත් හෝ විවේචනයක් ඉදිරිපත් කළහොත් ඒ සංවාදය කිනම් මුහුණුවරක් ගනු ඇතිද ?
මේ සංවාදෙකදි තමන්ගේ භාවිතය සාධාරණීකරණය කිරීමට මේ දෙපාර්ශවයම උත්සාහ ගැනීම දක්නට පුළුවන්. හොඳින් බලන්න, අරක්කු භාවිතයේ යෙදී සිටින්නකු එසේ නිවැරදිව ප‍්‍රශ්න කිරීමට අපි කිසිදිනක උත්සාහ කර තිබේද යන්න… එසේ සිදුකරන කිසියම් සාකච්ඡාවකදී තම භාවිතය නොයෙක් ආකාරයේ කරුණු මවා පාමින් සාධාරණීකරණය කිරීමට ඔවුන් ගන්නා උපක‍්‍රම ඉතා රසවත් අත්දැකීමක් වනු ඇති.

මට මේ මෑත දිනකදී එවන් අත්දැකීමකට මුහුණදීමට සිදුවූයේ, මාගේ හිතවතෙකු සමග එවන් සංවාදයක පැටලී සිටීම නිසාය. මාගේ හිතවතාගේ අරක්කු භාවිතයේ හා ඔහු අරක්කු වලට කොතරම් ඔහුව පාලනය කිරීමට ඉඩදෙන්නේ දැයි දැන ගැනීම මාගේ මැදිහත් වීමේ අරමුණ විය. මගේ හිතවතාව සූක්ෂම අයුරින් ප‍්‍රශ්න කරමින් සිට්ම නිසා අපගේ සංවාදය තවත් දිග්ගැස්සෙන්නට විය. මෙම නාට්‍යයේ සියළු දෙබස් ඔබට නොකීවත් කතාව අතරතුර හිතවතා විසින් අපූරු තුරුම්පුවක් මා වෙත යොමු කරන ලදී, එය තරමක් හාස්‍යජනක දෙයක් වුවද මේ ගැලවිජ්ජාව බහුල යෙදුමක් ලෙස ඔවුන් භාවිතා කිරීම දක්නට ලැබේ. මාගේ හිතවතා අවසන් වරට කිවේ අසවල් ගායකයා, නළුවා මේ ජනප‍්‍රිය පුද්ගලයන් අරක්කු බොන මාර පොරවල් කියාය. තවදුරටත් අපේ රටේ සිටි එක් විශිෂ්ට ගායකයකුගේ නම කියා ඔහුට අරක්කු බ්ව්වේ නැත්නම් වේදිකාවේ සිංදු කීමට බැරි බවයි. එමනිසා එම ගායකයා වේදිකාගත වන සෑම අවස්ථාවකම හොඳහැටි අරක්කු බොන බවයි.
 

මාගේ සිතේ ඒ වේලාවේම ඇඳි චිත‍්‍රය වූයේ ඒ දක්ෂ ගායකයා කලාකරුවා අපට අහිම් වූයේද එතුමාගේ මේ කියන අරක්කු බීම නිසා බවය. මාගේ හිතවතා කෙරේද මේ වේලාවේ මට ඇතිවූයේ උපේක්‍ෂාවකි, අනුකම්පාවකි. මේ ගායකයන් නළුවන් සහජයෙන්ම දක්ෂයන්ය. එහි විවාදයක් නෑ. ඒත් මාගේ හිතවතා වැනි අය තම බුද්ධිය මේ බොරුවෙන් වාසි ගැනීම නම් ලැජ්ජාසහගතයි. කිසිම ගීතයක් තම හඬින් අලංකාර කිරීමට නොහැකි අයකුට අරක්කු පෙව්වොත් ඒ පද පෙළට සාධාරණයක් ඉටු කරයිද?

සිංදු කියන්න බැරි අයකුට මොනා දුන්නත් ඒක කිරීම අපහසු බව මගේ මිත‍්‍රයා වැනි අය තේරුම්ගත යුතුව ඇත.
විවිධ විෂයන් කෙරේ දක්ෂයන් ප‍්‍රවීණයන් අරක්කු භාවිතය පුරුද්දක් ලෙස කරනවා විය හැකිය. එසේ කල පමණින් ඔහුගේ සියළු දක්ෂතා අරක්කු වලට පාවාදීම සාධාරණ ද? එසේ පාවා දීම තව තවත් ඒ අවාසිදායක පුරුද්දට අළුත් පිරිසක් එක් කිරීමට දායක වනවා නියතයි. මන්ද ඕනම අයෙක් පුරුදු වූ මේ අවාසිදායක පුරුද්ද තවදුරටන් සාධාරණ එකක් යයි කීමට ඔවුන්ගේ දිව නිර්ලජ්ජිතව නැමෙන්නේ මෙහි සත්‍ය අසත්‍ය බව අපි හෙළි නොකරන බැවින් යයි මට සිතේ.