4 Jul

අරක්කු පඹයා වෙනුවට බියර් රූකඩයා

මද්‍යසාර පාලනය සම්බන්ධයෙන් කෙසේ වෙතත් පසුගිය දිනක මද්‍යසාර භාවිතය දිරිමත් බව ආකාරයේ ප‍්‍රතිපත්ති හා යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් විය. නව මුදල් අමාත්‍යවරයා සිය අමාත්‍යධූරයේ කටයුතු ආරම්භ කරමින් සිදුකල පළමු පාර්ලිමේන්තු පෙනීසිටීමේ දී සිය පුද්ගලික විශ්වාසයන් ලෙස සුරාබදු ආඥා පනතට ගෙන ඒමට යෝජනා කල සංශෝධන සම්බන්ධයෙන් මේ වන විට රටේ කතිකාවක් ආරම්භ වී ඇත. එහිදී සැර මද්‍යසාර හා කසිප්පු භාවිතය අවම කිරීම සඳහා බියර් මිල අඩුකිරීමට කටයුතු කිරීම, විදේශික සංචාරකයන්ගේ අවශ්‍යතාවය සලකා බලා පොහොය හා වෙනත් සුවිශේෂි දිනවල මද්‍යසාර විකිණීමට ඇති තහනම ලිහිල් කිරීම වැනි ආන්දෝලනාත්මක යෝජන ඇතුළත් විය.

මෙම යෝජනා පාර්ලිමේන්තුව හමුවේ තැබීමට පෙර මුදල් අමාත්‍යවාරයා ලෙස සිදුකල යුතුව තිබූ අධ්‍යනයක් සිදු නොකිරීම හා විමසාබැලීමක් නොකිරීම රජය හා අමාත්‍යවාරයාවද හෑල්ලූවට ලක්වීමට හේතුවක් වී ඇත. ජනාධිපතිවරයා ”මතින් නිදහස් රටක් ” යන සංකල්පය පෙරදැරිව කරයුතු කරමින් සිටියදී ජනාධිපති මත්ද්‍රව්‍ය නිවාරණ කාර්්‍ය සාධක බළකාය හා දුම්කොළ මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ කරුණු විමසීමක් නොකිරීම අඩුපාඩුවකි. එමෙන්ම පසුගිය වසරේ පාර්ලිමේන්තුවේ සම්මත වූ මද්‍යසාර පාලනය පිළිබඳ ජාතික ප‍්‍රතිපත්තිය ගරු මුදල් අමාත්‍යවාරයාගේ අවධානයට පත්වූයේ නම් උක්ත යෝජනා සිදුනොවීමට තිබිණි.
අපේ රටේ මද්‍යසාර පාලනය සම්බන්ධයෙන් නිවැරදි රාජ්‍ය ප‍්‍රතිපත්තියක් මේ වන විට ඇතත් මෙම සිද්ධියෙන් පෙනී යන්නේ ඒ අනුව ක‍්‍රියාත්මක වීම ශුන්‍ය බවයි. මධ්‍යසාර භාවිතයේ හානිය සෞඛ්‍ය පැත්තෙන් පමණක් නොව බොහෝ සමාජ ආර්ථික වටපිටාවන් සඳහා ඍණාත්මක බලපෑමක් ඇතිකරනු ලබයි.

නිති විරෝධී හා සැර ප‍්‍රමාණයන් වැඩි මත්පැන් භාවිතය අඩු කර හානිය අඩුකල යුතුව ඇති බව බියර් සමාගම් මගින් ගෙනයන ප‍්‍රධාන මතවාදයකට අනුව යමින්, හඳුන්වාදීමට උත්සහා ගන්නා මෙවන් තීරණ ඉතිහාසයේ පවා අප මුදල් අමාත්‍යංශය නොමග යැවීමට හේතුවක් විය. බියර් සඳහා බදු අඩු කිරීම මගින් හෝ වෙනත් අයුරකින් එය දිරිමත් කිරීම මගින් කිසිසේත් මද්‍යසාර මගින් සිදුවන කෙටිකාලීන හෝ දීර්ඝකාලීන හානින් අවම කිරීමට නොහැකි බව සාක්ෂි සනාථ කරන අතරම එම වැරදි ප‍්‍රතිපත්තිමය තීරණ අවාසිසහගත බවද ඔප්පු වී තිබේ.

එහිදී හොඳම උදාහරණය වන්නේ මෙයට පෙර අවස්ථාවකදී එනම් 1995 වසරේ දී ද එවකට මුදල් අමාත්‍යවාරයාව සිටි ජී. එල් පීරිස් මහතා විසින් බියර් බදු අධික ලෙස අවම කිරීම සිදුකල අතර රජය අපේක්ෂාකල ආකාරයේ කිසිදු සාධණීය ප‍්‍රථිපලයක් ලබාගැනීමට අසමත් වූ බව දත්ත පෙන්වා දේ.
මද්‍යසාර භාවිතය සම්බන්ධයෙන් විවිධ අදහස් එළිදකිම්න් ඇති මෙවන් වකවානුවක මද්‍යසාර පාලනය සම්බන්ධයෙන් රටක් ලෙස දැනට ගෙන ඇති පියවරයන්ට අමතරව ඉදිරියේදී ගත හැකි පියවරයන් රට හමුවේ තැබීමට මෙය අවස්ථාවක් කරගමු. මේ වන විට වෙළඳපොලේ ඇති මද්‍යසාර මිල පිළිබඳව කිසිදු නියාමනයක් හෝ පිලිගත හැකි මිල නියාමන ප‍්‍රතිපත්තියක් නොමැති බව පෙනෙන්නට තිබේ.

ලෝකයේ මද්‍යසාර පාලනය සම්බන්ධයෙන් ගෙන ඇති සුවිශේෂි මැදිහත් වීම් අපේ රටේද ක‍්‍රියාවට නැංවීම මගින් වඩාත් හොඳ ප‍්‍රථිපල ලබාගත හැකි බව අපගේ යෝජනාවයි. එහිදී ඕනෑම මද්‍යසාර වර්ගයක මිල ප‍්‍රමුඛ සාධකයක් වන අතර දැනට පවතින මිල නියම වීමේ ක‍්‍රමවේදයන් වෙනස් විය යුතු ආකරයෙන් මෙසේ ඉදරිපත් කරමු. මෙසේ ඉදිරිපත් කරන නිර්දේශයන් යුරෝපා සංගමයට අයත් රාජ්‍යන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ මද්‍යසාර පාලන නිර්දේශයන් ක‍්‍රියාත්මක කිරීම මගින් ලබාගත් සාර්ථකත්වය අනුව සැකසී ඇත. ඒවා ඕනෑම රාජ්‍යක ඵලදායි මද්‍යසාර පාළන ප‍්‍රතිපතියක් සැකසීමට යෝග්‍ය බව අපගේ හැඟීමයි.

මද්‍යසාර භාවිතයේ ගැටළුව අවම කරගැනීම සඳහා මිල නියමකිරීම සම්බන්ධයෙන් යෝජිත නිර්දේශයන්
01. මිලදී ගැනීමේ හැකියාව හා වෙනස්වන උද්දමන අගයන්ට අනුව මද්‍යසාරවල මිල නියම කිරීම හා අගය මත එක් කරන බදු (VAT)වැඩි වශයෙන් ඉහල දැමීම.

02. මද්‍යසාර නිෂ්පාදන සඳහා ලබාදෙන වට්ටම් හෝ මිලදී ගැනීමේදී ලබාදෙන වරප‍්‍රසාද නැති කිරිම.
03. මද්‍යසාර සමාගම් විසින් ඒවා නිෂ්පාදන වියදමටත් අඩුවෙන් අළෙවිකිරීම තහනම් කිරීම.
04. මද්‍යසාර සමාගම් නිෂ්පාදන මිල අඩුකිරීම මගින් ලබාගන්නා ඍජු හෝ වක‍්‍ර ප‍්‍රචාරණය ඇහිරීම.
ෆින්ලන්ත රජය ඔවුන්ගේ රටේ හඳුනාගත් උග‍්‍ර මද්‍යසාර ගටළුවට විසඳුම් වශයෙන් 2008 වසරේ සිට වසර 04 ක කාලයක් ක‍්‍රමිකව මද්‍යසාර බදු මගින් මිල වැඩි කිරීමට කටයුතු කරන ලදී. එම අවදියේදී ෆින්ලන්ත රජය බදු ආදායම ලෙස යුරෝ මිලියන 400 ක් උපයාගැනීමට සමත්ව ඇති අතර එම ක‍්‍රියාත්මක වීම නිසා 8% ක් මද්‍යසාර භාවිතය අඩුවී ඇත.

05. මද්‍යසාර ලීටරයක් සඳහා අවම නීත්‍යානූකූල මිලක් නියම කිරීම.
මද්‍යසාර විකිණීම සඳහා අවම මිලක් නියම කිරීම මගින් එක්සත් රාජධානිය, ස්කොට්ලන්තය වඩාත් ඵලදායී ප‍්‍රථිඵල නෙලාගෙන ඇති බව පෙනෙන්නට තිබේ. එම රටවල් මද්‍යසාර සඳහා අවම මිල නියම කිරීම හා එය 10% න් වැඩිකිරීම මගින් මද්‍යසාර භාවිතය 8.4 % න් අඩු කරගෙන ඇති අතර, මද්‍යසාර නිසා සිදුවන ඇස්තමේන්තුගත මරණ ප‍්‍රමාණය 32% අඩු වී ඇති බව සමීක්ෂණ වාර්තා හෙලිකර ඇත.

06. නියමිත මිලකට අසීමාන්තිකව මද්‍යසාර භාවිතා කල හැකි ආකාරයේ මද්‍යසාර සමාගම්වල ප‍්‍රචාරණයන් ඇහිරීමට කටයුතු කිරීම වැනි නිර්දේශයන් ක‍්‍රියාත්මක වීමමත තරුණ පිරිස භාවිතයට යොමුවීම ඇහිරීම සිදුවේ.

ඉහත සියළු නිර්දේශයන් පදනම් වී ඇත්තේ වෙනත් සාධක නොවෙනස්ව පැවතියදී පවා මද්‍යසාර මිල නමැති සාධකය වෙනස් කිරීම මගින් වඩාත් ඵලදායි ප‍්‍රථිඵල අත්කරගැනීමට හැකියාව ඇති බව සාක්ෂි සහිතවය.
ලෝකයේ තතු එසේ තිබියදී අපේ රටේ හාත්පසින්ම වෙනස් ප‍්‍රත්පත්ති සම්පාදනය සිදුවන්නේ කවර හේතුයක් නිසාද අපහැදිලි උවත් සැකයට භාජනය කල හැකි අවස්ථා වේ. එනම් අපේ රටේ වෙනස් කිරීමට යෝජනා කරන බොහෝ ක්ෂේත‍්‍රයන් බියර් කර්මාන්තය විසින් බොහෝ කාලයක සිට සිදුකරන ඉල්ලීම් වේ. බියර් නිෂ්පාදකයන් සිය කර්මාන්තය සඳහා වඩාත් වැඩි වාසි ලබාගැනීමට නිරන්තරයෙන් බදු පහසුකම් හා බියර් භාවිතය සුලබ කල හැකි ආකාරයන් සූක්ෂම ලෙස ප‍්‍රතිපත්ති සම්පාදකයන්ගේ අවධානයට ලක්කිරීමට කටයුතු කරනු ලබයි. විශේෂයෙන් සාවද්‍ය තොරතුරු මගින් අමාත්‍යවරයා මෙන්ම මුදල් අමාත්‍යංශය නොමග යැවීම බියර් කර්මාන්තය මෙන්ම සිගරට් කර්මාන්තයද සිදුකරනු ලබන ප‍්‍රමුඛ උපායකි.


ඒ අනුව යමින් බොහෝ ජනතා නියෝජිතයන් කර්මාන්තයන්ට වාසි වන ආකාරයේ ප‍්‍රකාශයන් සිදුකිරීමද අවාසාදායක තත්වයකි. පාර්ලිමේන්තුවේ බොහෝ වැදගත් තීන්දු තීරණ ගන්නා අවස්ථාවලදී මුනිවත රකිමින් සිටි පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් මෙම යෝජනා වෙනුවෙන් පක්ෂව සිය අදහස් දැක්වීම ස්වභාවිකව සිදුවූවා විය නොහැකිය. බොහෝ කාලයක් මුලූල්ලේ බියර් කර්මාන්තයේ සාවද්‍ය දත්ත හා නිර්දේශයන්ට නිරාවරණය වීමේ ප‍්‍රථිපලයක් ලෙස මෙම තත්වය උදාවී ඇතැයි අපට සාධාරණ සැකයක් හටගනී. යෝජිත ප‍්‍රතිපත්ති අනුමත වීම හෝ නොවීම තුල ජනතාවට අවබෝධ කරගත හැකි දේ බොහෝ වනු ඇති. ඔබ, අපගේ මනාපයෙන් පාර්ලිමේන්තු වරම ලද පිරිස ඇත්තටම නියෝජනය කරන්නේ අපේ අවශ්‍යතාවය ද නැතිනම් මද්‍යසාර සිගරට් කර්මාන්තයේ අවශ්‍යතාවයද යන්න දැන කියා ගැනීමට මනරම් අවස්ථාවක් එළඹ තිබේ. එම අවස්ථාව බුක්ති විඳින අතර තුර මද්‍යසාර භාවිතය පාලනය සම්බන්ධයෙන් හෝ එය පෝෂණයකර පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ඕනෑම බුද්ධිමය සකච්ඡුාවකට මෙම ප‍්‍රස්තුතය විවෘත්ත කරමි. මද්‍යසාර භාවිතයෙන් සිදුවන හානි අවම කරගැනීමට යැ’යි යෝජනා කොට ඇති සියල්ල උපේක්ෂාවෙන් බැහැර කරමි.

අසිත දර්ශණ
වැඩසටහන් නිලධාරී
මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය

2017 ජුලි මස 02 දින දිවයින ඉරිදා පුවත්පතේ පලවිය

Leave a Reply