2 Jun

අප කාගේත් දරුවන් වෙනුවෙන්…

අපි කියමනක් අහලා තියෙනවා උනහපුළුවාට උගේ පැටියා මැණිකක්ළු කියලා. තමන්ගේ දරුවන්ට දක්වන ආදරේ රටේ ලෝකේ අනිත් දරුවන්ටත් දක්වන අම්මලා තාත්තලා ඉන්නවනම් මේ ලෝකේ කොච්චර සුන්දර වෙයිද? ඒත් අවාසනාවක තරම මේ ලෝකේ එහෙම නෑ. බොහෝ දෙමව්පියෝ ලෝකයේ දරුවන් තමන්ගේම දරුවන් සේ සැළකුවද සුළු පිරිසක් කිසියම් හේතු නිසා තමන්ගේ දරුවන් ගැන පමණක් සිතා කටයුතු කරයි. පොඞ්ඩක් හිතන්න අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් මිනීමරු සිගරට් කොම්පැණියක හෝ අරක්කු හෝ බියර් වගේ එකක රස්සාව කරනවා කියාලා. අන්න ඒ වගේ රස්සාවල් කරන අම්මලා තාත්තලා ගැනයි මේ.

මෙයාලට හොඳ| මාසික පඩියක් වේතනයක් හා නොයෙක් පහසුකම් ලැබෙනවා ඇති, ඒ පහසුකම් සමහරවිට රටේ අනෙක් තැන් වල ලැබෙන්නේ නැතිවත් ඇති. ඒත් බලමු සිගරට් සමාගමේ සේවය කරන එක් කාන්තාවක්, අම්මා කෙනෙක් ගැන. ඇයගේ කුසින් මෙලොවට බිහිකල පුතාව හෝ දුවව පාසලට දමා මේ අම්මා සිය මොටර් රථයෙන් රාජකාරියට පැම්ණෙන්නේ මිනීමරු සමාගමකටයි. ඇය පැමිණ සිය රැකියාවට අදාලව සිදුකරන ඕනෑම රාජකාරියක් ඒ සමාගමේ පැවැත්ම සඳහායි. සරල උදාහරණයක් ලෙස සිගරට් සමාගමම ගතහොත් එම සමාගමේ පැවැත්මට සේවකයන් ගේ හා විවිධ මට්ටමේ නිළයන්ගේ දායකත්වයෙන් සිගරට් නිෂ්පාදනයේ සිට ලෝකයේ භාණ්ඩයක් විකිණීමට සිදුකරන සියළු උපක‍්‍රම සම්පූර්ණ කර වෙළඳපොළ හරහා පාරිබෝගිකයාට ලැබීමට සලස්වනු ලැබේ. සිගරට් සමාගමේ පැවැත්මේ ක‍්‍රියාවලිය සරලව බැලූකල එයයි. එහෙත්, සිගරට් නිසා අපේ රටේ නම් වසරකට 20,000 ක් පමණ තාත්තලා අහිමි වන බව සත්‍යකි. එතකොට මෙසේ මියයන තාත්තලාගේ දරුවන්ට අතිවන ඉරණම මොන වගේ වෙනවාදැයි සිගරට්, අරක්කු සමාගම් නමි කිසිම තැකීමක් කරන්නෙ නැති වග අපි හොඳින් දන්නා කාරණයක්.

මෙසේ මියයන පිරිසට අළුත් පිරිසක් පාරිබෝගිකයන් ලෙස සිය නිෂ්පාදන වටා එක් රොක් කරගත්තේ නැතිනම් කිසිම සමාගමකට පැවැත්මක් නෑ. එසේ නම් නව පාරිබෝගිකයන් ලෙස මෙම අවාසිදායක පුරුදු ඇතිකරන්නේ කවුරුන් තුලද? ඔව් ඒ අපේ දරුවන් හා තරුණයන් තුලයි. පෙර කී කාන්තාව රාජකාරි කිරිම නිසා ඇය අපේ රටේ තාත්තලා පිරිසක් මරා දැමීමට හා ඒ අඩුව පිරවීමට අළුත් පිරිසක් අල්ලා ගැනීමට දායකවනවා. ඇය ඇයගේ දරුවාට හා සිය පවුලේ උදවියට ලෝකයේ හොඳම දේ ලබා දීමට නිතරම උත්සහා ගන්නවා නොවනුමානයි. එහෙත් ඇය රටේ අනෙක් පවුල් වලට උරුම කරදෙන්නට උත්සාහා කරන්නේ කරුමයක් නොවේ ද? ඇය අප අපේක්‍ෂාකරන පරමාදර්ශිී කාන්තාවක්ද? ඇයගේ පවුල අපි දකින අපුරු පවුලද? උබතෝකොටිකයි, මිනීමරු සමාගම් වල සේවයේ නියුතු ගෑණු, පිරිම් අම්මලා, තාත්තලා මේ සේවය කරන්නේ තමාගේ පවුල ගොඩයවාගෙන රටේ අනෙක් පවුල්වලට අභාග්‍ය උදාකරවීමටයි.

මේ මිනිස්සු සේරම තමන්ගේ දරුවන් දෙස බලන විදියට රටේ දරුවන් දෙස බලනවානම් මේ වගේ සමාගම් වල වැඩ කරන්න හිත හදාගන්නේ කොහොමද කියලා පැහැදිලි නෑ. සමහරවිට අමාරුවෙන් හිත හදාගෙන වැඩ කරනවා ඇති. මේ මිනිස්සු තම උපරිමය නොයෙදා හොරට වැඩකරන්න පුළුවන් නම් අනේ රටේ දරුවන් හා තරුණයන් ලොකු ප‍්‍රමාණයක් අරක්කු, බියර් හා සිගරට් උගුලෙන් ගලව ගන්න පුළුවන් වෙයි.