9 Oct

අපේ රටත් තායිලන්තයක් කිරීමේ මද්‍යසාර සමාගම් වල පිඹුරුපත්

ඔබ තායිලන්තයේ සංචාරය කොට ඇතිනම් එය අරක්කු හා බියර් කොම්පැණි වල කෙලිපිටියක් බව දැකගන්නට ලැබෙන්න ඇති. සංචාරක කර්මාන්තයෙන් විශාල ආදායමක් උපයන තායිලන්තය විනෝදාස්වාදය සඳහා සංචාරකයන් පැමිණෙන ගමනාන්තයක් බවට පත්වී හමාරයි. මෙම අවස්ථාව හොඳින් හඳුනාගත් බියර් සමාගම් සිය මෙහෙයුම් තායිලන්තය තුල ඉතා තීවූ ලෙස සිදුකරන ලදී. එහිදී සංචාරක කර්මාන්තයට මුවා වී සිය මෙහෙයුම් සිදුකිරීම බොහෝවිට සිදුවිය. මෙම වාතාවරණය තුල විනෝදාස්වාදය හා බියර් භාවිතය අතර සම්බන්ධයක් ගොඩනැගීමට එම කර්මාන්තයන් කටයුතු කරන ලදී. මේ වන විටත් තායිලන්තය බියර් භාවිතය වැඩි කරවන මධ්‍යස්ථානයක් යැයි කිවහොත් නිවැරදියි. මන්ද සියළුම සමාජ එකතුවීම් අරක්කු හා බියර් වලින් පිරී පවතින අතර, සංචාරකයන් පමණක් නොවේ තායිලන්ත ජාතිකයන්ද භාවිතයට හසුවී අවසානයි.

මෙම තත්වය එම රටට ඇතිකලේ කෙසේද යන්න සොයාබැලීම රසවත් යැයි සිතමි. බියර් කර්මාන්තය මෙහිදී සියුම් ක‍්‍රම මගින් සිය ආක‍්‍රමණයන් දියත් කල බව පෙනෙන්නට තිබේ. අපේ රටේද වර්තමානය වන විට ඔක්ටෝබර්ෆෙස්ට් නමින් දියත් කරම්න් පවතින්නේ තායිලන්තය තුල මීට වසර ගණනකට පෙර බියර් කර්මාන්තය විසින් දියත්කරන ලද සැලසුම් සහගත ක‍්‍රියාවලියන් වේ. මිනිසුන්ට බියර් භාවිතය සුලබ කිරීම සඳහා නොයෙක් විනෝදකාමී වැඩසටහන් තුල බියර් එක් අංගයක් කොට ඉදිරිපත්කිරීම මගින් බියර් කොම්පැණි සිය වෑයම තායිලන්තයේදී සාර්ථක කරගන්නා ලදී. මේ ආකාරයනේම අපේ රටේද මේ වනවිට නොයෙක් අවස්ථාවන් බියර් කර්මාන්තය විසින්ම සංව්ධානය කොට සිය නිෂ්පාදන වැඩි අගයක් එක් කොට ජනතාව අතරට ගෙන යාමේ ක‍්‍රමවේදයන් අත්හදා බලමින් සිටින බව කිවයුතුය. අද වන විට සෑම සිල්ලර කඩයකම වාගේ බියර් විකිණීමට ඇති තායිලන්තයේ දරුවන්, වැඩිහිටියන් මං මාවත් වලද බියර් බොන ආකාරය දැකිය හැකිය. මෙවන් වටපිටාවක් ඇතිකිරීමට බියර් සමාගම් දැමූ උත්සාහයේ ප‍්‍රතිපල එම සමාගම් විසින් අත්කරගනිමින් සිටී.
oct2
අද වන විට අපේ රටේද මේ තත්වයන් අඩු වැඩි වශයෙන් දක්නට ලැබීම බියර් සමාගම් වල මැදිහත් වීම අපේ රටේදී සිදුවන්නේ කෙසේදැයි පෙන්වන දර්ශකයක් වේ. වෙරළ සැණකෙළි, රගර් හෝ වෙනයම් ක‍්‍රීඩා අවස්ථාවන් වලදී මෙන්ම අපේ රටේ වාර්ශික කාල සටහනේ නොතිබූ ඔක්ටෝබර්ෆෙස්ට් වැනි වැඩසටහන් මේ වන විට එම කාලසටහනට දමා ඇත. බියර් සමාගම් රටක පවතින සභ්‍යත්වය, සදාචාරයට පහර ගසන්නේ මෙවැනි උපායන් මගිනි. බියර් භාවිතයට වැඩිපුර අවස්ථා ඇතිකිරීම හා පහසුකම් ඇතිකිරීම මගින් නිරායාසයෙන් භාවිතය වැඩිවන බව නොරහසකි. හොඳින් බැළුව හොත් අපේ රටේද මේ වන විට සිදුවෙම්න් පවතින්නේ ඒ බියර් සාමාගම් වල එම උපායන් යැයි ඔබට වටහාගත හැකි වනු ඇත.
එසේනම් අපි අවබෝධ කරගතයුතු සත්‍ය වන්නේ බියර් කොම්පැණි තායිලන්තයට කරපු දේම අපේ රටටත් කරනවා යන්නයි.