4 Mar

අපේ බිග් මැච් එක.

අවුරුද්දේ මේ මාසයම පාසල් අතර මහා ක‍්‍රිකට් තරඟ පැවැත්වීම නිසා සැණකෙළි ස්වරූපයක් ගන්නවා. මේ පාසල් ක‍්‍රිකට් වසන්තය ඉතිහාසයේ සිටම පාසල් සිසුන්ට ඉතා වැදගත් කාල වකවානුවක්. පාසල් දරුවන්ට වගේම පාසල් හැරගිය ආදී ශිෂ්්‍යන්ද එකතුවෙන අවුරුද්දේ ප‍්‍රධාන සැණකෙළිය මහා ක‍්‍රිකට් තරගයි. මේ එකතුවීම් බියර් අරක්කු සමාගම් වලටත් හොඳ අවස්ථාවක්. ඒ අවස්ථාව මේ වන විට එම සමාගම් ඉතා කූට අයුරින් භාවිතා කරන බව පෙනෙන්නට තිබේ.
මේ වන විට කොළඹ ප‍්‍රධාන පෙලේ පාසල් වල මහා ක‍්‍රිකට් තරග පැවැත්වීමට නියමිතව ඇති අතර, මේ සියල්ලට බියර් හා සිගරට් සමාගම් ඇස ගසාගෙන සිටිනවා විය හැකියි. මන්ද පාසල් දරුවන්ට සිගරට් හා බියර් ඇතුළු මද්‍යසාර භාවිතය රසවත් දෙයක් ලෙස හඳුන්වාදීමට මෙය තරම් හොඳ අවස්ථාවක් ඉහත සමාගම් වලට තවත් නොමැති තරම් වේ. එමනිසා මේ කාලයේ බියර් සමාගම් සිය හැකියාව, සම්පත් උපරිම වශයෙන් යොදාගනිමින් සිටි. මෙම තත්වයට හොඳ රුකුලක් ලැබෙන්නේ පාසල් ආදි ශිෂ්‍ය සංගම් හරහායි. එම සංගම් වල සාමාජිකයන්ට මද්‍යසාර භාවිතා කිරීමේ හැකියාව තරගය සමග ලබාදීම නිසා බියර් සමාගම් එය අවස්ථාවක් ලෙස භාවිතා කරනු ලැබේ. මෑතදී පුවත් පතක් වාර්තා කර සිටියේ පසුගිය වසරේ රු. ලක්ෂ ගණනක් බියර් සමාගම් විසින් වියදම් කොට පාසල් දරුවන්ට බියර් භාවිතය පුරුදු කිරීමට අවශ්‍ය වටපිටාව මහා ක‍්‍රිකට් තරගවල ඇති කිරීමට කටයුතු කල බවයි.

එහිදී බියර් බොන නිරූපිකාවන් යොදාගැනීම සිදුවී ඇති බව අනාරණය වී තිබේ. සිගරට් බොන්නන් හෝ සමාගම විසින් දැමූ පුද්ගලයන් විසින් සිගරට් නොමිලේ බෙදා දීම සිදුකරන බව පෙනෙන්නට තිබේ. එසේනම් මහා ක‍්‍රිකට් තරග පැවැත්වෙන්නේ ඉහත සමාගම්වල වාසිය උදෙසාද යන්න සාධාරණ පැනයක් අපට පැනනැගේ. ඉතිහාසය පුරාවටමත් බොහෝ දරුවන් සිය පළමු සිගරට් හෝ මද්‍යසාර අත්දැකීම බොහෝවිට ලබාගෙන ඇත්තේ පාසල් මහා ක‍්‍රිකට් තරග අතරතුර බව සමීක්ෂණ වාර්තා පෙන්වා දේ. බියර් සමාගම් මගින් කිසියම් හෝ වාසියක් පාසලට හෝ ආදී ශිෂ්‍ය පාර්ශව වැනි කිසියම් හෝ කණ්ඩායමකට ඇති නම් එය අනාගතයේදී මහා ක‍්‍රිකට් තරගවල තිබිය යුතු ජීවය සම්පූර්ණයෙන්ම නැති කර දැමීමට හේතුවක් වනු ඇති. බියර් සමාගම් පාසල් විසින් සදා දෙන පිටියේ හා තණනිල්ලේ රිසි පරිදි සෙල්ලම් කිරීම සෑම පාසලකටම අභියෝගයක්. එම අභියෝගය ජයගැනීමට මහා ක‍්‍රිකට් තරග සංව්ධානයේ නිරතවන සියළු පාර්ශව හොඳින් මෙහි ඇති අවදානම තක්සේරු කරගැනීම සිදු කිරීම වැදගත්වේ. බියර් සමාගම් හෝ සිගරට් සමාගම් තමන්ගේ මහා ක‍්‍රිකට් තරගය අවස්ථාවක් කරගැනීම වැලැක්වීමට කටයුතු කිරීමට තරම් අවබෝධයක් සංව්ධායකයන්ට ලැබේවා.