7 Jul

අපි ජීවත්වෙන රට…

අපේ රට ඉන්දියන් සාගරයේ මුතු ඇටය, ධර්ම දීපය, සිරිලක ලෙස නානාප‍්‍රකාර නම් වලින් හැඳින්වෙන අතර, එම නම් වලින් ව්‍යාජ වාත්සල්‍යක් අතිකරවන බව නම් මේ වන විට ලෝකයටම පසක් වී අවසානයි. වර්තමානයේ අපි එදිනෙදා අත්දකින සිද්ධි ගැන හොඳින් අවබෝධයෙන් බැලූකල ඉහත නම්වලින් හැඳින්වූයේ අපේ රට දැයි සැකයක් ඇතිවේ. මෙයට ආසන්න එක් උදාහරණයක් සඳහන් කලහොත් විවධ ආගමික නැඔුරුවීම් ඇති පාර්ශව මගින් රටේ ඇතිකිරීමට උත්සාහා ගන්නා අන්තවාදී තත්වයන් කිවහැකිය. එය ධර්ම ද්වීපයකට කිසිසේත් නොගැලපෙන අතරම ලෝකය පුරා මිනිසුන් තුල අපේ රට ගැන ඇති යහපත් ආකල්පයටද හානියකි. අපේ රටට එරෙහිව කටයුතු කිරීමට නොයෙක් සංව්ධාන හා ජාතීන් මාන බලමින් සිටින අවස්ථාවක ඒවාට පහසුකම් සැලසීම මගින් අපේ මිනිසුන් කරන්නේ කොතරම් විශාල අනුවණකමක්ද?

මේවාට අමතරව රට ඇතුලේද නොයෙක් ප‍්‍රශ්න දැවෙමින් පවතී. සුළු ගැටළු විසඳා ගැනීමට නොහැකිව විවිධ පාර්ශව දේශපාලනිකව ගැටුම් ඇතිකරගනිමින් ඇති අතර, මේ කිසි ගැටුමකට සම්බන්ධ නොවන මහජනතාවට මෙය දැනෙන්නේ අන්තෝ ජටා බහි ජටා න්‍යායෙනි. ඔවුනට ඔවුන්ගේ හා ඔවුන්ගේ දරුවන්ගේ අනාගතය පිළිබඳ සාධාරණ සැකයක් හා බියක් ඇතිවීමට හේතුවන තරමේ ගැටළු මේ වන විට රටේ උද්ගත වී ඇත. ඉන් එකක් ලෙස සිගරට් පැකට් මත රූපමය සෞඛ්‍ය අවවාදයන් ගෙන ඒම සඳහා සෞඛ්‍ය ඇමතිවරයා ගත් උත්සාහයට මේ වන විට අත් වී ඇති ඉරණම ගැන කිවහැකිය. රූපමය අවවාදයන් දැමීම පමා කර වර්තමානය වන විට වසර 02 ක් පමණ වේ. බහුජාතික මිනීමරු දුම්කොළ සමාගමේ උවමනාව මත එය පමා වෙමින් පවතී. මෙම වසර 02 පුරාවට අපේ රටේ දරුවන් කොතරම් ප‍්‍රමාණයක් සිගරට් භාවිතයට පුරුදු වන්නට ඇතිද? දරුවන්ට හොඳම දේ යනුවෙන් දේශපාලන වේදිකා මත මොරදෙන දේශපාලඥයන් සිය හඬ අවදි කලයුතුම අවස්ථාවක නිහඬව සිටීම කණගාටුවට කාරණයකි. රටේ ව්‍යවස්ථාදායකය විසින් ඒකමතිකව සම්මත කරන ලද රූපමය අවවාදයන් සිගරට් පැකට් මත දැමීම තවමත් සිදු වී නොමැත්තේ අපට පාඩම් බොහෝමයක් කියාදෙමිනුයි.

 

වසර 30 යුද්ධය අවසන් වූ විට අපි සිතුවේ අපේ ජීවිත සුඛිත මුදිත වෙන කාලය ඉතා ආසන්න බවයි. එහෙත් මේ වන විට නම් පෙනෙන්නට දැනෙන්නට තිබෙන්නේ අපේ දරු පරපුරටත් ඒ තත්වය හීනයක් වෙම්න් පවතින බවයි. භෞතික සම්පත් ඇතිවීම හෝ දියුණුවීමට වඩා වැදගත් වන්නේ ජීවත් වීමට සුදුසු පරිසරයක් රටක් තුල ඇතිද යන්නයි. අපේ රටේ අපිට හා අපේ දරුවන්ට නිදහසේ ජීවත් වීමේ අයිතිය නැවතත් අභියෝගයට ලක්වී ඇති හැඩක් පෙනෙන්නට තිබේ. මීට වසර ගණනකට ඉහතදී උදේ ගෙදරින් එලිියට යන කෙනෙක් නැවත හවසට ගෙදර එයිද යන්න විශ්වාසයක් නොමැති තත්වයක සිටි අප කුරිරු යුද්ධය අවසන් වූ පසුත් එවැනිම බියකින් කාලය ගත කිරීමට සිදුව ඇත.

මේ බිය අපිට සිදුවන භෞතික අනතුරක් සම්බන්ධයෙන් නොවේ ඊටත් වඩා එහාගිය බියක් ලෙස කිව හැකිය. උදාහරණයක් ලෙස කිවහොත් අපි ජීවත් වන්නේ යුක්තිය ඒ ආකාරයෙන් ක‍්‍රියාත්මක වන පරිසරයකද යන්න සොයාබලමු. එසේ යුක්තිය ඒ ආකාරයෙන්ම අපේ රටේ පොදු ජනතාවගේ යහපත වෙනුවෙන් ඉටුවෙනවා නම් සිගරට් පැකට් මත රූපමය අවවාද ඇතුලත් වී බොහෝ කල් වනු ඇති. එසේනම් යුක්තිය ඉටු වී ඇත්තේ බහුතර අහිංසක පොදු ජනයාටද, නැතහොත් බහුජාතික සමාගම් වලටද යන්න තේරුම් ගැනීම අපට ඇති අභ්‍යාසයයි. සිගරට් පැකට් මත රූපමය අවවාද සිද්ධියෙන් ගැටළුවේ එක් පැත්තක් පමණක් පෙනෙන අතර මෙවැනි කෙතරම් ගැටළු ප‍්‍රමාණයක අපේ රට දැවෙනවා ඇතිද යන්න අවධියෙන් සිට සොයාබැලීම අප කාගේත් ශරීර සෞඛ්‍යට යහපත් තත්වයක් වනු ඇති. අවබෝධ කරගෙන නිහඬව සිටීම නොව අපි අපේක්‍ෂා කරන ලොව අපට කිසිවෙකු සාදා රන් බන්දේසියක තබා දෙපා මුලට ගෙනත් දෙන්නේ නැත. එය අප විසින් උත්සාහයෙන් සාදාගත යුතුව ඇත.

 

ඒ සඳහා ගන්නා උත්සාහයන් තුලින් ලබාගන්නා ප‍්‍රතිපල අපගේ ජීවිත කාලය තුල අත්විඳිය නොහැකි වුවත් අපගේ අනාගත දරුපරපුරවත් ඒවා බුක්ති විඳිනු ඇති යයි සිතා ක‍්‍රියාත්මක වීම වටී. මිනීමරු බහුජාතික සිගරට් සමාගම් සිය මුදල් බලය මගින් මිලදීගෙන ඇත්තේ අපේ දරුවන් වෙනුවෙන් තීරණ ගැනීමේ අයිතියයි. එහි ඇති භයානක තත්වයන් අමුතුවෙන් කිව යුත්තක් නොවේ. අපේ අයිතිය, දරුවන්ගේ අයිතිය එසේ සමාගම් පවරා ගැනීම හෝ එයට ඉඩ දී බලාසිටීම බුද්ධිමත් ජනතාව ලෙස නොකලයුතු දෙයකි. අනාගතය නිරීමාණය කිරීම ඉතිහාසයේ සිදුවූ දේ නැවතත් අනාගතයේ නොවීමට වගබලා ගැනීම වර්තමානයේ කොන්ද කෙලින් තියාගෙන, ඔළුව උස්සගෙන වැඩකරන මිනිසුන්ගේ රාජකාරිය වනු ඇති.